පොලිස් නිලධාරී උසස්වීම් පටිපාටිය ක්‍රමවත් කිරීමට ඇමැති උපදෙස්

Share

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය ක්‍රමවත්ව සකස් කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.
පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඊයේ (28) පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
දැනට පවතින උසස්වීමේ පටිපාටිය හේතුවෙන් පොලිස් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව අමාත්‍යවරයා එම සාකච්ජාවේදී පෙන්වාදී ඇති අතර විශේෂයෙන් ඇතැම් පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරු අවුරුදු විස්සක් පමණ එකම නිලයේ සිටින අතර ඔවුන්ට උසස්වීම් නොලැබීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙනු ලැබීය. එපමණක් නොව උප පොලිස් පරික්ෂකවරුන්ට ද මෙම කනගාටුදායක තත්ත්වයට මුහුණදීමට සිදුව ඇති බවද අමාත්‍යවරයා පෙන්වාදී ඇත.
මෙම තත්ත්වය හේතුකොටගෙන පොලිස් නිලධාරීන් අතර රාජකාරී කිරීමේදී සිය සේවය පිළිබඳව උද්යෝගයක් නොමැති බව පෙනී යන බවත් විශේෂයෙන්ම ජනතාවට සමීප සේවාවක් සිදුකරන ශ්‍රී ලංකා පොලීසිය තුළ නිලධාරීන්ගේ සිය වෘත්තීයට ඇති උද්යෝගය ඉතාමත් වැදගත්වන කරුණක් බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
එම නිසා ඉදිරි මාස හතරක කාල සීමාව තුළ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය පිළිබඳව ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කොට තීරණයක් ගන්නා ලෙසද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදුන් අතර මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසම සමග ද සාකච්ජකර අවශ්‍ය පියවර ගන්නා ලෙස සඳහන් කොට ඇත.
එමෙන්ම පොලිස් උසස්වීම් සම්බන්ධයෙන් අධිකරණය තුළ විභාගය වන නඩුද කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස සාගල රත්නායක අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.

Read more

Local News