හිටපු කථානායකගෙන් නිවේදනයක්

Share

කෙරෝනා වසංගත තත්වය හමුවේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීම සදහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.

“කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ක්‍රමයෙන් බියකරු තත්වයකට පත්වෙමින් දිනෙන් දින ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාම සමස්ත රට වැසියන් මුහුණදෙන බලවත් අවදානමකි.

මෙම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැලසීමෙහිලා නිරත වී සිටින සියළු අංශ වෙත සමස්ත ජාතියේ ගෞරවය, කෘතඥතාවය හා පූර්ණ සහය හිමිවිය යුතුය.

එම සියළු අංශ මැනවින් කළමණාකරණය කීරිමට රජය දරණු ලබන උත්සාහයටද කිසිදු භේදයකින් තොරව සෑම පාර්ශවයකම පූර්ණ සහය ලබාදීම පැහැරහල නොහැකි වගකීමකි.

විශේෂයෙන්ම මෙම තත්වය හමුවේ වඩාත්ම දුෂ්කරතාවයන්ට මුහුණදෙන එදිනෙදා උපයන දෙයින් ස්වකීය දරු පවුල් නඩත්තු කරන ජනතාවට සහන සැලසීමෙහිලා වඩාත් ප්‍රායෝගික විධිමත් වැඩපිළිවෙලක් කෙරෙහි කඩිනමින්  අවධානය යොමු කිරිම අත්‍යාවශ්‍ය වේ.

කෙසේ වුවද මෙවන් ජාතික ව්‍යසනයක් හමුවේ පොදු ජාතික අරමුණක් වෙනුවෙන් සමස්ත පුරවැසියන් දිශාගත කිරිම වගකිව යුතු රාජ්‍යකරණයක ප්‍රශස්ත ලක්ෂණයකි.

එබැවින් මේ වන විටද හිටපු අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා හා අනෙකුත් පක්ෂ නායකයින් වෙළඳ මන්ත්‍රණ සභා හා සිවිල් සමාජ නායකයන්ද පෙන්වා දී ඇති පරිදි සියළු පාර්ශවයන්ගේ අදහස් පිළිබඳව සැලකිලිමත්ව සාමුහික තීරණයන්ට එළැඹීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස ගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු රජයෙන් හිටපු කථානායකවරයා වශයෙන්  ඉල්ලා සිටිමි.“

Read more

Local News