සියලු වතු කම්කරුවන්ට නොමිලේ ආහාර මල්ලක් දීමට පියවර

Share

වතු කම්කරු ප්‍රජාව සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් බෙදා දීමට පියවර ගන්නා බව වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.

 

ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල පිහිටි ප්‍රධාන කාර්යාලයේදී අද (25) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඒ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ තොණ්ඩමන් මහතා මෙසේද කීය.

“දැනට දිවයින තුළ හටගෙන ඇති කොරෝනා වෛරස් භීෂණය හා නියඟ තත්ත්වයත් සමඟ දැඩි අපහසුතාවයට පත්ව සිටින වතු කම්කරුවන්ට මේ වන විට ජිවත් වීමට නොහැකි තත්වයක් උදා වී තිබෙනවා.

ඒ තත්වයත් සමඟ පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී මම ගරු ජනාධිපතිතුමාගෙන් හා අග්‍රාමාත්‍ය තුමාගෙන් වතු කම්කරුවන්ට සහන සැලසීම සම්බන්ධව සාකච්ඡා  කළා.

එහිදි මම රජයෙන් වතු ප්‍රජාව සඳහා  සහනාධාර ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා.

ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් ලබා දීමට එකඟ වුණා. එය හෙට (26) දින සිට ක්‍රියාත්මක කරනවා.”

වතුකරයේ සිටින ජනතාව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ දී ගැනීමට නගරයට පැමිණෙන තත්ත්වය වළක්වා ගැනීම සඳහා වතුවලටම ගොස් සතොස හා සමූපකාරය හරහා වැටුපෙන් අයකර ගැනීම හෝ අතපිට මිළදී ගැනිමට වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

වතු කම්කරුවන් සේවයේ යෙදී සිටින අවස්ථාවලදී කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ දෑත් සොදා පිරිසිදු වීමට හා වතු නිවාස අවට ඉසීමට අවශ්‍ය  විෂබීජ නාශක හා සබන් වැවිලි මානව සම්පත් භාරය මඟින් මේ වනවිටත් වතුවලට ලබා දී තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ වතු වෘත්තීය සමිතියේ සාමාජිකයින්ගෙන් මාර්තු මාසය සඳහා සාමාජික මුදල් වැටුපෙන් අය නොකර ගන්නා ලෙස දන්වමින් වතු පාලනාධිකාරියට මේ වන විට ලිපි මඟින් දනාවා තිබෙනවා. ”

වතු කම්කරුවන් මේ දිනවල දෛනික සේවයට වාර්තා කිරීමට ප්‍රථම තමන් නිරෝගීව සිටින බව පවසමින් අත්සන් කරන ලෙස වතු පාලනාධිකාරිය මඟින් දන්වා ඇති බවත්, එසේ අත්සන් නොතබන ලෙස තමන් වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් පවසන අමාත්‍ය අරුමුගම් තොන්ඩමන් මහතා, වතු පාලනාධිකාරිය මඟින් කම්කරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් මේ වන තෙක් ලබා දී නොමැති බවත්, ඒ සියල්ල වැවිලි මානව සම්පත් භාරය මඟින් ලබා දී ඇති නිසා එසේ අත්සන් නොතබන ලෙස දන්වා ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

Read more

Local News