කොරෝනා මැඩලන්න අවශ්‍ය සියලු වෛද්‍ය උපකරණ රෝහල්වලට

Share

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි කොරෝනා වෛරසය සඳහා  ප්‍රතිකාර කරනු ලබන දිවයින පුරා රෝහල් 24ට සහ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත උපකරණ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් බෙදා හැරීමට සියලු කටයුතු යොදා ඇත.

 

ඒ අනුව විශේෂයෙන්ම මෙම ආරක්ෂිත උපකරණ කොරෝනා වෛරසය සඳහා  ප්‍රතිකාර කරන රෝහල් වල සේවයේ නියුතු වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩල ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව වෛද්‍ය සැපයුම් අංශය අවධාරණය කරයි.

මේ වන විට රුපියල් මිලියන 800ක් පමණ මූල්‍ය ප්‍රතිපාදන  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම කටයුතු සඳහා ලබා දී ඇත.

මෙම උපකරණ බෙදා හැරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පෞද්ගලික අවධානයට යොමු වූ අතර, එම බෙදාහැරීම් සොයා බැලීම සඳහා අද(26) පෙරවරුවේ වෛද්‍ය සැපයීම් අංශය වෙත පැමිණියාය.

එමෙන්ම විවිධ පරිත්‍යාගශීලීන් විසින් මෙවැනි ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පරිත්‍යාග වශයෙන් ලබා දී ඇත.

ඒ අනුව අද දින රත්නපුර ව්‍යාපාරික මහතෙකු වන ඉන්දික රාජපක්ෂ මහතා සහ හේමාස් ආයතනය විසින් පුද්ගල ආරක්ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.මෙම පරිත්‍යාග දෙකෙහි මුළු වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වේ.

Read more

Local News