ඡන්ද විමසීමේදී දුබලතාවයෙන් යුතු තැනැත්තන්ට විශේෂ ප්‍ර‍වාහන පහසුකම් – අවසර ලබා ගත යුතුයි

Share

ලබන පෙබරවාරී 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන් විසින් විශේෂ ප්‍ර‍වාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීමට හිමිකම් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙම පහසුකම් සඳහා වූ අයදුම්පත්‍ර‍ ඡන්ද විමසීම පවත්වනු ලබන දිනයට දින හතරකට පෙර එනම් 2018.02.03 වන දින හෝ ඊට පෙර අදාළ තේරීම්භාර නිලධාරි සෑහිමට පත්වන්නේ නම්, එම තැනැත්තා හට විශේෂ ප්‍ර‍වාහන පහසුකම් ලබා ගැනීම සඳහා අවසර පත් නිකුත් කළ හැකිය.

2002 අංක 01 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතින් ප්‍ර‍ධාන ප්‍ර‍ඥප්තියට ඇතුළත් කරන ලද 82 උ 4 (ඈ) වැනි වගන්තිය අනුව, යම්කිසි කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය හෝ යම් ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩලයක් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවය හෝ යම් මහජන ප්‍ර‍වාහන සේවාවක් විසින් සපයනු ලබන ප්‍ර‍වාහන සේවාවක් මඟින් ඡන්ද පොළට යාම ඊම කළ නොහැකි නම් තමාට ඡන්ද පොළට යාමට ඊමට සඳහා ස්වකීය ඡන්ද විමසීම් ප්‍රදේයේ තේරීම්භාර නිලධරයා වෙත තමා විසින්ම හෝ එසේ නොමැති නම් තමා වෙනුවෙන් අපේක්ෂකයෙකු නොවන වෙනත් අයකු විසින් හෝ ඉල්ලුම් පත්‍ර‍යක් ඉදිරිපත් කළ හැකිය.

අයදුම්පත්‍ර‍ ඉදිරිපත් කරන තැනැත්තා තමාට පොදු වාහනයකින් හෝ පයින් ඡන්ද පොළට යාම් ඊම් කිරීමට නොහැකි බව තහවුරු කරමින් ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් ( බාහිර හෝ දේශීය) ලබාගත් වෛද්‍ය සහතිකයක් මඟින් සිය අයදුම්පත සනාථ කරන්නේ නම් තීරණයක් ගැනීමේ දී ඒ තේරීම්භාර නිලධාරීට මහත්සේ උපකාර වනු ඇත. තමා පරීක්ෂා කර බලා සහතිකයක් නිකුත් කරන ලෙසට එබඳු තැනැත්තකු ආණ්ඩුවේ වෛද්‍යවරයෙකුගෙන්, ලියාපදිංචි හෝ සහකාර වෛද්‍ය වෘත්තිකයකුගෙන් හෝ ආයුර්වේද වෛද්‍යවරුයෙකුගෙන් හෝ ඉල්ලා සිටියහොත් ඔහුට මේ සඳහා වෛද්‍ය සහතිකයක් ගාස්තුවක් නොගෙවා ලබාගත හැකිය. පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් (බාහිර හෝ දේශීය) ලබා ගන්නා සහතිකවල එම වෛද්‍යවරයාගේ නම සහ ලියාපදිංචි කළ අංකය සඳහන් කළ යුතුය.

Read more

Local News