පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල වේලාවන් වෙනස් කිරීමට රජයෙන් තීරණයක්

Share

පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ හා අවසන් කරන වේලාවන් සංශෝධනයකට ලක් කිරීමට රජය තීරණය කර ඇත.

 

ඒ අනුව රාජ්‍ය අංශයේ කාර්යාල පෙරවරු 09.00ට ආරම්භ කර පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45ට ආරම්භ කර පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට නිර්දේශ කර ඇත.

කොරෝනා වසංගත තත්ත්වයෙන් වැළකී සිටීමට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂම කිරීම සදහා මෙලෙස වේලාවන් සංශෝධනය කෙරේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඒ සම්බන්ධව නිර්දේශ සහිත වාර්තාවක් සැකසීම සඳහා අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුව විසින් කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව වේලාවන් සංශෝධනය කිරීම සඳහා සකස් කළ වාර්තාව අද(30) පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා විසින් අමාත්‍යවරයා වෙත බාර දෙන ලදී.

මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

Read more

Local News