කරුණා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 28

Share

“දමිළ එක්සත් නිදහස් පෙරමුණේ“ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

 

කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයකු වන බෝසෙත් කලෙහේ පතිරණ මහතා විසින් ගොනුකර ඇති එම පෙත්සම අද (03)  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පෙත්සම්කරු මෙම පෙත්සම නිසි නීතිමය කාලසීමාව තුළ ගොනු කර නොමැති හෙයින් එය පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් ඉදිරියේ දී මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියේය.

කෙසේ වෙතත් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 28 වන දා සිදු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙ නියම කළහ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ වැඩ බලන පොලිස්පතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් 19 වන දා දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් “තමා කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමා අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයකදී හමුදා සාමාජිකයින් 2000 ක් 3000ක් පමණ ඝාතනය කර ඇති බවත්“ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයි යනුවෙනි.

මෙම ප්‍රකාශය තුළින් කරුණා අම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294  යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවද පෙත්සම්කරු සඳහන් කර ඇත.

සාක්ෂි ආඥා පනතේ 17(1)  වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් බවද පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දුනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළත්, මේ දක්වා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවද පෙත්සම්කරු චෝදනා කරයි.

ඒ අනුව කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News