බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ ජය කොදෙව්වන්ට

Share

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

 

ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 204ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 318ක්.

තරගයේ පස්වන සහ අවසන් දිනය වන ඊයේ (12) එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 284ක් රැස් කර ගෙන සිටියේය.

එහෙත් එංගලන්ත කණ්ඩායමට තවත් ලකුණු 29ක් එක් වෙද්දී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 313ක් පමණයි.

එංගලන්ත දෙවන ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වු ෂැනන් ගේබ්‍රියෙල් ලකුණු 75කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය.

ඒ අනුව තරගය ජයග්‍රාහණය කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 200ක ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 168කදී දවා  ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය.

කොදෙව් පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක්  ක්‍රීඩා කළ ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 95ක් රැස් කළේය.

රොස්ටන් චෙස් ලකුණු 37යි.

ඒ අනුව කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසු කර ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 4කින් පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්විය.

තරගයේ වීරයා ෂැනන් ගේබ්‍රියෙල්.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ඕල්ට්‍රැෆර්ඩ්හි දී එළඹෙන 16 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Read more

Local News