වැඩිම ආසන ගණනක් අහිමි කරගත් පක්ෂය

Share

මෙරට පාර්ලිමේන්තුවේ පැරණිම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය සිය 73 වසරක මැතිවරණ ඉතිහාසයේ දරුණුතම පරාජයට මෙවර මුහුණ දුන්නේය.

 

කිසිදු මැතිවරණ කොට්ඨාසයක් හෝ දිනාගැනීමට අසමත් වූ එක්සත් ජාතික පක්ෂය මෙවර ලබාගත්තේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.

ඒ සමගම එහි වැඩිම කාලයක් නායකත්වය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරය අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.

මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් 1946 සැප්තැම්බර් මස 06 වන දින බිහි වූ එක්සත් ජාතික පක්ෂය 1947 මුල්ම මහ මැතිවරණයේ දී ආසන 95 න් 42 ක් දිනාගනිමින් පළමුවරට ආණ්ඩු බලය හිමි කරගත්තේය.

අනතුරුව මහ මැතිවරණ 7කදීම ආණ්ඩු බලය දිනූ එක්සත් ජාතික පක්ෂයෙන් අග්‍රාමාත්‍යවරුන් 7දෙනකු සහ ජනාධිපතිවරුන් 3දෙනකු බිහි වී තිබේ.

1956 සහ 1970 වසරවල පැවති මහ මැතිවරණ වලදී පමණක් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ගණන 8කට සහ 17කට අඩු වූ නමුත් අඛණ්ඩව වැඩිම වසර ගණනක් එනම් වසර 17 ක් ආණ්ඩු බලය හොබවා තිබෙන්නේ ද එක්සත් ජාතික පක්ෂයයි.

1977 සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම පක්ෂය 1989 මහ මැතිවරණයේදී ආසන 125 ක් , 1994 දී ආසන 94 ක් ,  2000 දී ආසන 89 ක් , 2001 දී ආසන 109 ක් , 2004 දී ආසන 82 ක් , 2010 දී ආසන 60 ක් සහ 2015 දී ආසන 106 ක් දිනාගත්තේය.

එහෙත් 2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව එක් ආසනයක් හෝ දිනාගැනීමට හැකි නොවූ අතර ජාතික ලැයිස්තුවෙන් පමණක් එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.

එම පක්ෂයේ වැඩිම කාලයක් නායකත්වය හෙබ වූ , පස්වරක්ම මෙරට අගමැතිධුරයට පත් වූ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහි දී ඡන්දයෙන් මැතිසබයට තේරීපත්වීමට හෝ අපොහොසත්වීම විශේෂත්වයකි.

ඒ අනුව 2015 මැතිවරණයට ලැබී තිබූ මන්ත්‍රී ධුර 105 ක්ම මෙවර අහිමි කරගත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මහ මැතිවරණයකින් පසු අනෙක් මහ මැතිවරණයේ දී වැඩිම ආසන ගණනක් අහිමි කරගත් පක්ෂය ලෙස ඉතිහාසගත වේ.

මේ අතර ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර තිබුණේ පක්ෂයක් ලෙස අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් පැමිණි අභියෝගවලට ද මුහුණ දුන් අතර තම පාර්ශ්වයේ මෙන්ම අනෙක් අයගේ අසාර්ථක වීම්වල සහ අඩුපාඩුවලද වගකීම භාරගන්නා බවය.

Read more

Local News