බන්ධනාගාර නිලධාරීන් 15කගේ වැඩ තහනම්

Share

විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

 

ඔවුන් මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරීන් බවයි ඒ මහතා කියා සිටියේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඒ ඒ ආයතනවල අධිකාරිවරු, බන්ධනාගාර බුද්ධි අංශ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගනු ලැබූ යම් යම් කරුණු මත පදනම්ව සිදුකළ මූලික විමර්ශනවලට අනුකූලව මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත් ඒ මහතා පැවසීය.

එසේම අනිසි ආකාරයෙන් වත්කම් ඉපැයූ බන්ධනාගාර නිලධාරීන්ගේ තොරුතුරු ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසමට යොමුකර ඇති බවත් මීගමුව හා බූස්ස බන්ධනාගාරවල සිටින සිය පරිපාලනයට සහයෝගය නොදෙන හා සිරකරුවන් සමග යම් යම් සබඳතා පවත්වන බවට අනාවරණය වී ඇති නිලධාරීන් ද මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමු කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9 දෙනෙකු, බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකු සහ දුම්බර හා වාරියපොළ බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙකු ද ස්ථාන මාරු කිරීම්වලට යොමුකර ඇති බව ඔහු සඳහන් කළේය.

Read more

Local News