කුමන දේශපාලන පක්ෂයක තනතුරක සිටිය ද දූෂිතයන්ට, වංචනිකයන්ට එරෙහිව තමා ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවෙසේ දී ඊයේ (31) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසුවේ පක්ෂ, පාට භේදයකින් තොරව දූෂිතයන් සන්ධාන ගතවන බවත් කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද කුමන තනතුරක සිටිය ද දූෂිතයන්ට, වංචනිකයන්ට එරෙහිව තමා ක්‍රියාමාර්ග ගන්නා බවද එවැනි අවස්ථාවල දී දූෂිත දේශපාලඥයන් කෙරෙහි නොව රටේ මහජනතාව කෙරෙහි තමා විශ්වාසය තබන බවද සදහන් කරයි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මීට පෙර තමා සිටි ස්ථානයේ පැවැති අන්ත දූෂිත තත්ත්වය හේතුවෙන් එම ආණ්ඩුවෙන් එළියට පැමිණි බවත් නව ආණ්ඩුවක් පිහිටුවා ගත් පසුව එතැනද දූෂණය සිදුවනවා නම් ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගත නොහැකි බවත්ය. පසුගිය යුද ජයග්‍රහණයෙන් පසුව පැහැදිලි ලෙස නිදහස් හා සාධාරණ සමාජයක් රටේ ජනතාව විසින් අපේක්ෂා කළද යුද්ධයෙන් පසුව මිනිස් ඝාතන, මාධ්‍යවේදීන් පැහැර ගැනීම, මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම ආදී ක්‍රියාවන් ඉහළ ගොස් තිබෙන බවද පෙන්වා දුන්නේය.

කුමන විවේචන පැවතිය ද අද වන විට රටේ ජනතාවට නිඳහසේ ජීවත් වන්නට සහ ජාතීන් අතර සමඟියෙන් කටයුතු කරන්නට අවස්ථාව සැලසී තිබෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා කුමන පුද්ගලයෙකු වුවද රටේ ජනතාව අනුමත නොකරන දෑ සිදු කරන්නේ නම් ඒ සඳහා කිසිවිටෙකත් එකඟ නොවන බවද තම ධූර කාලය තුළදී රට සහ ජනතාව වෙනුවෙන් වගකීම ඉටුකරන බවද පැවසීය.

බැඳුම්කර වාර්තාව සහ බරපතළ දූෂණ හා වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය තමාගේ අභියෝගය හේතුවෙන් ගෙන එන්නට හදිසියේ තීරණය කර තිබෙන නමුත් මෙම විවාදය සාර්ථක වනු ඇති බවට විශ්වාසය තැබිය නොහැකි බවත් තාක්ෂණික, ශාස්ත්‍රීය සහ නීතිමය වශයෙන් මේ සඳහා කරුණු ඉදිරිපත් කළ යුතු බවත්ය.

මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තමා දුර්වල කරන්නේ නම් රටේ ජනතාව අපේක්ෂා කරන කිසිවක් ඉටු නොවනු ඇති බවත් තමා ශක්තිමත් කරන්නේ නම් පමණක් ඉදිරි වසර දෙකක කාලයේ දී රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමේ හැකියාව තිබෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිඳහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිඳහස් සන්ධානය ජයග්‍රහණය කළයුතු බවද පෙන්වා දුන්නේය.

තමාගේ දේශපාලන ප්‍රතිපත්තියට අනුව ඉදිරියටත් කටයුතු කරන බවද කුමන අභියෝග පැවතිය ද නිවැරැදි දේශපාලන ගමනකට එක්විය යුතු බවද සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනතාධිපතිවරයා වශයෙන් රටට සහ ජනතාවට යහපතක් ඉටුකිරීම වෙනුවෙන් කැප වන බවද ජනාධිපතිවරයා පැවසුවේය.

Read more

Local News