මත්ස්‍ය ආනයනයට වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට සැලසුම්

මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට පැතිකඩ කිහිපයකින් සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

රට වටා ඇති මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ඵල ගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තය පත්විය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ(27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයින් අභිජනනය කර අපනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව ද මෙහිදී සාකච්ඡාවට ලක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර ප්‍රතිඅපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ සොයා බලන ලෙස ජනාධිපතිවරයා එහිදි  නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබේ.