ශ්‍රිලනීපයට සිදුවූ දෙයට මමත් වගකිව යුතුයි – හිටපු ජනපතිනි චන්ද්‍රිකා

Share

වර්ථමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතිව තිබෙන තත්ත්වයට තමාද වගකිව යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසීය.

 

ශ්‍රිලනීපයේ 69 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළාය.

“දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත්වෙලා තියෙන ඉරණම ගැන තාමත් දුක්වෙනවා. තාමත් උදේට නැගිටිනකොට මට ඇඳෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ, මේකට වෙලා තියෙන දේ ගැන හිතෙනකොට පණ නැතිවෙලා යනවා. මමත් මෙයට වගකිව යුතුයි කියලා හිතෙනවා“ යැයි ඒ  මහත්මිය පැවසීය.

“අවුරුදු 9ක් මම දේශපාලනයෙන් අයින්වෙලා ඉදලා. නැවත් දේශපාලනයට එන්නේ නැහැ කියලා පැහැදිලි තීරණයක් මත කටයුතු කරමින්, වෙන කටයුතු කරමින් හිටියේ නමුත් 2015 යළි දේශපාලනයට ආවේ රටට වෙන ඇබැද්දිය දැක්ක නිසා, පක්ෂයට වෙලා තිබුණ ඇබැද්දිය දැක්ක නිසා. මේක ගොඩගන්න පුළුවන් කියලා හිතාගෙන,“ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

“මම එක්සත් ජාතික පක්ෂයට ගියා කියලා බනින්නේ, වැරදි කරපු නිසා පන්නපු කට්ටිය. ඒ අය තමයි කියන්නේ චන්ද්‍රිකා පක්ෂය එක්සත් ජාතික පක්ෂයට ගෙන ගියා කියලා. මමයි සන්ධානය කියන අදහස යෝජනා කළේ. අපි කවුරුත් හිටියා. අපි කවුරුහරි පරද්දන්නේත්, මෙන්න වැඩපිළිවෙළ උඩ කියලා අපි මහා දර්ශනයක් හැදුවා. ඒ දර්ශනය අපි අවුරුදු 3ක් ලිව්වා. ඒ දර්ශනය මත තමයි දින 100යේ වැඩපිළිවෙළ හැදුවේ. මේ සියල්ල කඩාදැමුවේ එක පුද්ගලයෙක්. අපි බලයට ගෙන ආ පුද්ගලයා,“ යනුවෙන් හිටපු ජනාධිපතිනිය පැවසීය.

“මට පස්සේ ආපු නායකයෝ දෙන්නාම මේකට වගකියන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වයක් දෙන්න පුළුවන් එකම බණ්ඩාරනායක විනාශ කළේ මේ අය,“ යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News