වකුගඩු රෝගයේ මුලික ලක්ෂණ

Share

සෑම පුද්ගලයෙකුගේම ශරීරයේ වකුගඩු දෙක බැගින් තිබෙනවා. වකුගඩු වලින් මිනිස් සිරුරට කරන්නේ සුළු පටු සේවයක් නම් නෙවෙයි.

 

මෙහි ප්‍රධානම කාර්යය වන්නේ සිරුරේ අපද්‍රවය පෙරා ඉවත් කිරීමයි.

මීට අමතරව රුධිරයේ පීඩනය නියමිත ප්‍රමාණයකින් පවත්වා ගැනීම සහ රුධිරයේ PH අගය නියමිත ප්‍රමාණයකින් පවත්වා ගැනීම ඉටු කරනවා.

වර්තමානය වන විට විවිධ හේතුන් නිසා වකුගඩු රෝගය බොහෝ පුද්ගලයන්ට වැළඳෙනවා.

අයහපත් දිවිපෙවෙත අද වන විට මෙම රෝගය වැළඳීමේ ප්‍රධානතම හේතුවක්.

මුල සිටම මෙය හඳුනා ගත හැකි නම් ප්‍රතිකාර ලබා ගෙන එය පාලනය කිරීමට හැකියි.

අධික මහන්සිය
යම් කාර්යයක නිරත නොවී මහන්සියක් දැනීම වකුගඩු රෝගයක මුලික ලක්ෂණයක්. රුධිරයේ අඩංගු අපද්‍රව්‍ය නිසි ලෙසින් පෙරා ඉවත් කිරීමට වකුගඩු අසමත් වී තිබීම මෙයට හේතුවයි. මේ නිසා ශරීර ශක්තිය ගිලිහි ගොස්, මහන්සි ස්වභාවයක් දැනෙන්නට පටන් ගනී.

නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම
මුත්‍රා පෙරීම වකුගඩුවේ කාර්යභාරයක්. ඉතින් වකුගඩු වල දුර්වලතා ඇති වෙද්දී වකුගඩු මඟින් මුත්‍රාශය වෙත යැවෙන මුත්‍රා ප්‍රමාණයේ ඉහල යාමක් සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී වරින් වර නින්දෙන් අවදි වී, මුත්‍රා කිරීමට සිදු වනු දැකිය හැකියි.

මුත්‍රා වලට රුධිරය මුසු වී තිබීම
සාමාන්‍ය වකුගඩු යුවලක් හරහා මුත්‍රාශය වෙත රුධිරය කාන්දු වන්නේ නැහැ. රුධිරයේ ඇති අපද්‍රවය පමණක් පෙරා මුත්‍රාශය වෙත යැවීමට වකුගඩු සමත් වෙනවා. නමුත් රෝගී වකුගඩු යුවලකින් රුධිරය ස්වල්පය බැගින් හෝ මුත්‍රාශය වෙත යැවෙනු දැකිය හැකියි.

මුත්‍රා පෙණ ස්වභාවයක් ගැනීම
මුත්‍රා හරහා ප්‍රෝටීන් පිට වීමේදී මුත්‍රා වල පෙණ ස්වභාවයක් ඇති වෙනවා. එයට හේතුව වන්නේත් වකුගඩු වල දුර්වල ස්වභාවය නිසා නිසි ලෙස මුත්‍රා පෙරා ඉවත් නොකිරීමයි.

ශරීරය ඉදිමීම
මෙයට හේතු වන්නේ වකුගඩු හරහා සිරුරේ අපද්‍රව්‍ය නිසි ලෙස පෙරා ඉවත් නොකරන නිසා ඒවා සිරුරේ තැනින් තැන තැම්පත් වීමයි. විශේෂයෙන්ම අත්, පාද සහ මුහුණ ඉදිමෙනු දැකිය හැකියි. දෑස් පුංචි වී ඒ අවට සම ඉබේම ඉදිමීම සිදු වෙනවා.

ආහාර රුචිය පහ වී යාම
ආහාර වල රසය විකෘති වී දැනෙන්නට පටන් ගැනීම නිසා ආහාර රුචිය වේගයෙන් අඩු වෙනවා. එයට හේතුව වන්නේ සිරුර තුල කෙමෙන් කෙමෙන් එකතු වෙන විෂ සංයෝග නිසයි. පෙරදී හොඳින් ආහාර ගත්තත්, ආහාර ගැනීමට අප්‍රිය බවක් දැනෙන්නට පටන් ගන්නවා. ආහාර ගැනීමේ ප්‍රමාණය අඩු වන නිසා සිරුර කෘෂ වෙනවා.

වමනය ඇති වීම
පෙරී ඉවත් නොවී, සිරුරේ ගොඩ ගැසෙන අපද්‍රවය නිසා නිතරම වමනය කිරීමට අවශ්‍ය වෙනවා සේ දැනෙනවා. එමෙන්ම උදරයේ ගැටළු, ආහාර අප්‍රියතාවය නිසා වමනය කිරීමට අවශ්‍ය වීම වැනි දේත් සිදු වෙනවා.

සමේ ගැටළු ඇති වීම
නිසි ලෙස සිරුරෙන් බැහැර නොවී ඉතුරු වන විෂ සහිත අපද්‍රව්‍ය වල බලපෑමෙන් සමේ ආසාදන, පලු සහ කැසීම් ඇති වෙනවා. සම වියලීම, ඉරි තැලුණු ස්වභාවයක් ගැනීම සිදු වෙන්න ඉඩ තියෙනවා.

රක්තහීනතාවය ඇති වීම
රුධිරයේ අඩංගු රතු රුධිරානු මට්ටම පහල බැසීමේ අවදානමකුත් වකුගඩු දුර්වලතා සමඟම පැමිණෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ ශක්තිය ගිලිහි යාම, නිතරම සීතල ස්වභාවයක් දැනීම සිදු වෙනවා. රක්තහීනතාවයේ ප්‍රතිඵලයක් ලෙස සිරුරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා.

නින්ද නොයාම
නින්දට බාධා ඇති කරන්නට සිරුරෙන් පෙරී ඉවත් නොවෙන විෂ ද්‍රව්‍ය බලපානු ලබනවා.

Read more

Local News