ඔබත් මානසික ගැටළුවකින් පීඩා විදිනවාද ?

Share

ජිවිතේ ගොඩක් වෙලාවට අපිට නොහිතන නොපතන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයින් සමහර කරුණු අපිට ජිවිතේ ජිවත් වෙන්න අලුත් බලාපොරෝතුවක් දෙනවා වගේම සමහර දේවල් වලින් මානසික බිදවැට්ම පවා සිදුවෙන්න පුළුවන්. මානසික ගැටළු ඇති වීම ලැජ්ජා වීමට කරුණක් නෙවෙයි.

 

ඔබේ කය රෝගී වූ විට ඔබට ලැජ්ජාවක් දැනෙන්නේ නැති නම්, මනස රෝගී වූ විට ලජ්ජා වන්නේ ඇයි? ඔබට වැළඳුනු කායික අසනීප සඳහා ඔබ උනන්දුවෙන් ප්‍රතිකාර ලබා ගන්නවා නම්, මනසේ ඇති වුනු රෝගී තත්වයන් සඳහා බෙහෙත් ලබා ගැනීමෙන් වැලකි සිටින්නේ ඇයි? ඒ වගේම තමයි ඔබේ පවුලේ සාමාජිකයෙකුට, ඔබේ මිතුරෙකුට යම් මානසික ගැටළුවක් ඇති බව පෙනෙන්නට තිබෙනවා නම්, ඔහුව හෝ ඇයව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරවන්න.

වර්තමානයේ බොහෝ දෙනකේට බහුලව දක්නට ලැබෙනා මානසික ගැටළු කිහිපයක් පහතින්……

විශාදය – සමාජයේ බහුතරයක් දෙනා පීඩා විඳින මානසික ගැටලුව තමයි විශාදය. විශාදය ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ සමීපතමයෙකුගේ වියෝ වීමක්, වෙනස් වීමක් වැනි සිදු වීමක් සමඟ ඇති කර කලකිරීම් තත්වයකි. ජීවිතය පිළිබඳව අසුභවාදී සිතිවිලි ඇති වන අතර, ජීවිතය නැති කර ගැනීමට පවා වුවද පෙළඹිය හැක. ඇතැම් විට හේතුවක් නැතිව කනගාටු වීම, අහේතුකව කෝප වීම, දරුණු හිසරදය වැනි ලක්ෂණ ඇති විය හැකියි.

භීතිකා වර්ග – භීතිකා රෝග වර්ග ගණනාවක් ඇත. මෙහිදී සිදු වන්නේ යම් භාණ්ඩයක්, පුද්ගලයෙක්, ආහාරයක් හෝ සතෙක් අරභයා අනියත බියක් ඇති වීමයි. සරල භීතිකා වර්ග වලින් පෙලෙන පුද්ගලයන් සමාජයේ ඕනෑ තරම් සිටි. මීට අමතරව සමාජයට ඇති බිය, එසේත් නැති නම් සමාජ භීතිකාව තරමක් අයහපත් ප්‍රතිඵල ඇති කරයි. එයට හේතුව වන්නේ සමාජයට මුහුණ දීමට ඇති බිය හේතුවෙන් සමාජය තුල කොන් වීමකට ලක් වීමයි.

කාංසාව – කාංසා රෝගය වැළඳුනු පුද්ගලයන් අවිනිශ්චිත සහ බිය ජනක හැඟීම් වලින් පීඩා විඳියි. සාධාරණ හේතුවක් ඇතිව හෝ නැතිව මෙම තත්වය ඇති විය හැකියි.

භින්නෝන්මාදය – මෙම මානසික ගැටලුව තරමක් භයානකය. මෙයට ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී නැති දේවල් තිබෙන ලෙසත්, තිබෙන දේවල් නැති ලෙසත් දැනෙන්නට පටන් ගනී. අන් අයට නෑසෙන ශබ්ද ඇසෙන්නටත්, රූප පෙනෙන්නටත් පටන් ගනී. තනිව සිනාසීමට සහ කතා කිරීමට පෙළඹීම මේ රෝගයේ තවත් ලක්ෂණයකි. මේ ගැටලුවේදී හුදෙකලාව ජිවත් වීමට කැමැත්තක් ඇති වන අතර, සමාජය ගැන සැකයක් සහ කෝපයක් ඇති වේ.

මානසික රෝග වලට ප්‍රතිකාර නොගැනීමෙන් සිදු වන හානි

රෝගියාගේ ජිවිතයේ පසුබෑම් ඇති වීම – මානසික රෝගයකට ඖෂධ ලබා නොගෙන දිගින් දිගටම පීඩාවට පත් වීමෙන් රෝගියාගේ ජිවිතයේ විවිධ පසුබෑම් ඇති වේ. අධ්‍යාපනය, රැකියා ජීවිතය සහ සමාජීය ජීවිතයත් බිඳ වැටේ. විශාදය වැනි රෝගයක් නිසා දිගින් දිගටම සිත් තැවුලට පත් වන්නන් අවසානයේ සියදිවි නසා ගැනීමට වුව පෙළඹිය හැක.

රෝගියා ඇසුරු කරන්නන්ගේ ජිවිත වල ගැටළු ඇති වීම – මානසික ගැටළුවක් ඇති පුද්ගලයෙකුගේ හැසිරීම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් වෙනවා. ඔහු ඖෂධ ලබා නොගන්නා නිසා ඔහුගේ හැසිරීම ඔහු ඇසුරු කරන්නන්ටත් අහිතකර ලෙස බලපානවා. රෝගියාගේ හැඟීම් විටින් විට වෙනස් වන නිසා ඒ අනුව හැඩ ගැසෙන්න සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකියි. රෝගියා ගැන දුකට පත් වීම, රෝගියාගේ වරින් වර වෙනස් වන හැඟීම් වලට මුහුණ දීමට සිදු වීම ආදී හේතු නිසා ගැටළු ඇති වේ.

උදා: කෝපයට පත් වන සැමියෙකුගේ බිරිඳ විශාදය නමැති රෝගයට පහසුවෙන්ම ගොදුරු විය හැක.

මානසික ගැටළු සඳහා ඇති ප්‍රතිකාර

  • උපදේශනය – ඇතැම් මානසික ගැටළු උපදේශනයෙන් පමණක් සුව කල හැක. මේ සඳහා පළපුරුදු උපදේශකයෙකු තෝරා ගත යුතුයි.
  • ඖෂධ – මානසික ගැටලුවේ ස්වභාවයට ගැලපෙන සේ ඖෂධ වර්ග ලබා දීම මෙහිදී සිදු වේ. ප්‍රති මානසික අවපීඩන ඖෂධ, ප්‍රති මානසික ආබාධ ඖෂධ, මානසික ස්වභාවය ස්ථාවර කිරීමේ ඖෂධ උදාහරණ ලෙස පෙන්වා දිය හැක.
  • විද්‍යුත් කම්පන චිකිත්සාව (ECT) – මෙම ප්‍රතිකර්මය ලබා දෙන්නේ රෝගියා ඖෂධ ප්‍රතික්ෂේප කරන අවස්ථාවන්හිදී සහ ඉක්මන් සුවය බලාපොරොත්තු වන අවස්ථා වලදීය.
  • සංගීත චිකිත්සාව 

ඔබට ජිවිතේ නානාවිධ ගැටළු ඇති වෙන්න පුළුවන්. නමුත් දරා ගැනිමට නොහැකි මානසික ප්‍රශ්නයක් මතු වු විටෙක එය හිතේ හිරකරන් ඉන්නවට වඩා තමන්ගේ ළගම සම්පතමයෙකුට පැවසීම තුළින් හිත සැහැල්ලුවට පත් වේවි. යම් විසදුමක් ලැබේවි. ඒ තුලින් මානසික සහනය නිතැතින්ම හිම්වේවි.

Read more

Local News