දරුවෙකුට පහර දීමෙන් ඇතිවෙන බලපෑම ගැන ඔබ දන්නවා ද ?

Share

දරුවෙක් කියන්නේ අපේ ජිවිතේ අපිට තියෙන වටිනම වස්තුවක්. අපි හැමවෙලේම උත්සහ කරන්නේ අපේ දරුවන්ව පණ වගේ ආරක්ෂා කර ගන්න.

 

වත්මන් සමාජ තත්ත්වය උඩ දරුවන්ට තිබෙන ආරක්ෂාව කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් පවතිනවා.

දරුවෝ වැරදි කරහම දෙමාව්පියෝ විදියට අපි පුළුවන් තරම් උත්සහ කරන්නේ තරවටු කරලා හරි දරුවාව යහමඟට ගන්න.

නමුත් ඔබ දන්නවා ද දරුවන්ට පහර දීම තුළින් ද දරුවාගේ මානසික මට්ටම බිඳ වැටීමේ හැකියාව පවතින බව.

එසේම ඒ තුළින් දරුවාගේ මනසට දැඩි පීඩනයක් ගෙන දෙන බව. ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ දරුවෙකුට පහර දීමෙන් ඇතිවෙන ඝෘණාත්මක බලපෑම් පිළිබඳව.

1. පහර දීම වැරදි ආදර්ශයක්

කුඩා මනසකට වැඩිහිටියන් විසින් ලබා දෙන ආදර්ශයන් දරුවාගේ ජීවිතය තුලට කා වදිනවා. ඔබ දරුවා වැරදි කරන විට පහර දෙනවා නම්, එයින් දරුවාට ලැබෙන ආදර්ශය වනුයේ වැරදි සිදු කරන ඕනෑම අයෙකු පහර ලැබිය යුතුය යන ආදර්ශයයි. දරුවාගේ දැක්මට අනුව යමෙකු යම් වරදක් කරන බව දැනුනොත් දරුවා තමාට වඩා බාල, වැඩිහිටි ඕනෑ අයෙකුට වුවත් පහර දෙන්නට පෙළඹෙනු ඇත. පාසලේදී මිතුරන්ට පහර දෙනු ඇත. එමඟින් මිතු දම් අහිමි වීම, අන් අයගේ අප්‍රසාදයට ලක් වීම වැනි බොහෝ අහිතකර තත්වයන්ට දරුවාට මුහුණ දෙන්නට සිදු වනු ඇත.

2 දරුවාගේ සිතේ තමා ගැන ඇති ගෞරවනීය හැඟීම පහල බැසීම

දරුවෙකුට පහර දීම කියන්නේ දරුවාට ශාරීරිකව රිදවීමක් පමණක්ම නෙවෙයි. එය දරුණු ලෙස දරුවාගේ මනසට බලපානවා. දරුවාගේ සිතේ තමා ගැනම පවතින ගෞරවය, වටිනාකම පහල යනවා. පහර වදින වදින වාරයක් පාසා තමා නරක දරුවෙකු බව දරුවාට සිතෙන්නට පටන් ගන්නවා.

3 දෙමව්පියන් ගැන දරුවාගේ සිතේ ඇති ගෞරවනීය හැඟීම පහල බහිනවා

දෙමව්පියන් පහරක් දුන් ගමන් දරුවා තමාට කීකරු වෙනවා කියලයි දෙමව්පියෝ හිතාගෙන ඉන්නේ. දරුවාව තමා වෙත නම්මවා ගන්න පහර දීම හොඳ ක්‍රමයක් කියලා හිතන දෙමව්පියෝ ඇත්තටම වැරදියි. දරුවා ඔවුන්ට ඉක්මනින්ම කීකරු වෙන්නේ බය නිසයි. නමුත් දරුවා ටික ටික වයසින් වැඩෙද්දී දෙමව්පියන්ට අගෞරව කරන්නත්, අකීකරු වෙන්නත් පෙළඹෙනවා. පහර දෙන දෙමව්පියන් හා දරුවා මානසිකව බැඳෙන්නේ නැහැ.

4 වරද සහ පහර දීම ගලපන්න බැහැ

වරදට දඬුවම පහර දීම කියලා තීරණය කරන දෙමව්පියන්ට අතර මඟදී මේ දෙක ගලපා ගන්න බැරි වෙනවා. දරුවා වරදක් කරද්දී නොරිදෙන්න පහරක් ගහලා, දරුවා නැවත නැවත එම වරද කරද්දී පහර දෙන ප්‍රමාණය වැඩි කරන දෙමව්පියන් ඉන්නවා. මෙහි අවසානය කුමක්ද? ඔබේ දරුවා වැරදි කරන වතාවක් ගණනේ ඔබ පහර දෙන වේගය සහ ප්‍රමාණය වැඩි කරන්නේ කොහොමද? ඔබ එසේ සිදු කළහොත් අවසානයේදී එය ළමා අපයෝජනයක් බවට පත් වෙනවා.

5 විෂම චක්‍රයක් වෙනවා

විෂම චක්‍රයක් කියන්නේ යම් ගැටළුවක් විසඳීමට උත්සාහ කිරීමේදී තිබුණු තත්වය තවත් නරක අතට හැරීමේ ස්වභාවයටයි. දරුවාගේ වැරදි නිවැරදි කරන්නට කියලා හිතාගෙන පහර දුන්නම, දරුවාගේ චර්යාවන් ඇත්තටම යහපත් අතට හැරෙන්නේ නැහැ. පහර දීමෙන් ඇති වන වේදනාව නිසා දරුවාගේ සිත වේදනාවට පත් වෙලා, ඔහු තව තවත් අකීකරු වෙන්න පෙළඹෙනවා. සමහරවිට ඔබ කරන්න එපා කියන දේවල් ඔබට රහසින් කරන්න පෙළඹෙනවා.

6 පහර දීමේ මතකය මැකෙන්නේ නැහැ

දරුවා වයසින් වැඩෙද්දී දරුවාගේ සිතින් දෙමව්පියන් තමාට පහර දුන් මතකය මැකී යන්නේ නැහැ. ඇතැම් දරුවන් දෙමව්පියන්ගෙන් පසුකාලීනව දුරස් වන්නට මෙය හේතුවක් වෙනවා. තවත් දරුවන් තමන් දෙමව්පියන් වූ පසු තමන්ගේ දරුවන්ටත් පහර දෙන්නට නිරායාසයෙන්ම පෙළඹෙනවා.

7 සමාජ විරෝධී හැසිරීමක් සහිත වැඩිහිටියන් බිහි වෙනවා

කුඩා වයසේදී පහර කෑම් වලට ලක් වුනු දරුවන් වැඩිහිටි වියේදී සමාජ විරෝධී හැසිරීම් වල නියැලෙන්නට වැඩි ඉඩක් ඇති බවත්, ආත්මාර්ථකාමී හැසිරීම් රටාවක් සහිතව හැසිරෙන බවත් සනාථ වී තිබෙනවා.

Read more

Local News