ඇවන්ගාඩ් නඩුව විභාගයට – වැඩිදුර සාක්ෂි විභාගය හෙට

Share

ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද(09) යළි විභාගයට ගත්තේය.

 

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත් වේ.

මෙහිදී මෙම නඩුවට පාදක වන ඇවන් ගාඩ් නෞකාව අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා විශ්‍රාමික රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් තවදුරටත් හරස් ප්‍රශ්න විමසීම සිදුකළේය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය හෙට(10) දින දක්වා කල් තැබුණි.

මෙහිදී විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා අසනීප තත්ත්වයකින් පසු වන හෙයින් හෙට දින ඔහුගේ සහභාගිත්වය නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යාමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ඉඩ දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හෙට දින පමණක් විත්තිකාර සේනාධිපති මහතාට අධිකරණයේ පෙනී නොසිටීමට අවසර දුන් අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටිය යුතු බවට ද නියෝග කළේය.

2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816ක් සහ උණ්ඩ 203395ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා 19 ඉදිරිපත් කර තිබේ.

Read more

Local News