ශානි අබේසේකරට සිතාසි

ලබන 28 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

 

නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සුළු නිලධාරියෙකු වූ ගාමිණි සෙනෙවිරත්න සහ ප්‍රධාන සුළු නිලධාරි කේ. පි. චමින්ද යන අය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව ඔහුට එම කැඳවීම සිදුකර තිබෙන බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් 2006 වසරේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද්වේෂ සහගතව කටයුතු කරමින් තමන්ට එරෙහිව නඩු පවරා ඇති බව ගාමිණි සෙනෙවිරත්න සහ කේ.පී චමින්ද යන අය කොමිසමට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ලබන 28 වන දින අදාළ පැමිණිල්ල සලකා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.