අගමැතිගෙන් නිවේදනයක්

Share

විපක්ෂය විසින් 20වන සංශෝධනයෙන් විඝණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට උත්සාහ දරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

 

20වන සංශෝධනයෙන් සිදුවන්නේ විඝණකාධිපතිවරයා සම්බන්ධ වගන්තිවලට 19වන සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කොට 19වන සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු වගන්ති එලෙසම නැවතත් ස්ථාපිත කිරීම පමණක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විඝණන කොමිසමක් ඇතිකළ බවත් 20වන සංශෝධනයෙන් එය අහෝසි කිරීමට යන බවත් විපක්ෂය විසින් ගෙනයන ප්‍රචාර දුර්මතයන් බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුව ඇත්තේ විඝණන සේවා කොමිසමක් ඇති කිරීම පමණක් වන අතර එම කොමිසමෙන් කිසිදු විඝණන කටයුත්තක් සිදුනොවන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

20වන සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විඝණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කිරීමට නියමිත බව විපක්ෂය ගෙන යන තවත් අසත්‍ය ප්‍රචාරයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය රජයේ දෙපාර්තමේන්තු හැටියට සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු යටතට අයත් වන අතර අදාළ ආයතන විඝණකාධිපතිවරයාගේ විඝණනයට යටත් වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

විපක්ෂය, ජනතාව මුලා කිරීමේ අරමුණින් කිසිදු පැකිලීමකින් තොරව බොරු කියමින් සිටින බැවින් විපක්ෂයේ මෙම දුෂ්ඨ උත්සහය පරාජය කිරීම අප කාගේත් යුතුකම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Read more

Local News