ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙයි

Share

අද(11) දිනයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත් වෙන අතර මෙවර විභාගය සඳහා සිසුන් 331,694ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයද, පෙරවරු 11 සිට පස්වරු 12.15 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයද පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර ඇති බැවින් බියකින් තොරව දරුවන් විභාගයට යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කය තුළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර තිබෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල පිහිටි විභාග මධ්‍යස්ථානවල දී විභාගය සඳහා පෙනීසිටීමට නියමිත විභාග අපේක්ෂකයින් සඳහා මෙම විශේෂ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසීය.

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සිසුන්ගේ දෙමව්පියන්ට ද තම දරුවා සමග විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවසර හිමිවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 2 – 78 52 11 , 011 2 – 78 52 12 දුරකතන අංක ඔස්සේ දැනුම් දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News