මැතිවරණ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65753ක් රාජකාරි කටයුතු සඳහා යොදවයි

Share

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා පොලිස් මූලස්ථානයේ දී අද (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ 2018 පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65753ක් රාජකාරි කටයුතු සඳහා යොදවා අැති බවයි.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරි, පොලිස් අධිකාරි හා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 255ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 510ක්, පොලිස් පරීක්ෂක හා උප පොලිස් පරීක්ෂකවරුන් 5219ක්, කාන්තා පොලිස් පරීක්ෂක හා කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 412ක්, පොලිස් සැරයන්වරුන් 14079ක්, පොලිස් කොස්තාපල්වරුන් 33385ක්, කාන්තා පොලිස් සැරයන්වරියන් හා කොස්තාපල්වරියන් 4383ක්, පොලිස් රියදුරන් 2019ක්, පොලිස් ආරක්ෂක සහායකවරුන් 1320ක්, පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් 4178ක් හා සිවිල් ආරක්ෂක භටයින් 5953ක ප්‍රමාණයක් මැතිවරණ රාජකාරි කටයුතුවල යොදවා ඇත.
මෙම නිලධාරීන් හෙට (08) දා සිය මැතිවරණ රාජකාරි කටයුතු සඳහා වාර්තා කිරීම සිදුකරන බවත් 09දා සිට ඔවුන් විසින් සිට රාජකාරි කටයුතු ආරම්භ කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන 13420ක් ස්ථාපිත කොට ඇතැයි ද මෙම එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 26840ක පිරිසක් යොදවා ඇත.
එමෙන් ම සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත පොලිස් ජංගම සංචාර 3225ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර මෙම ජංගම පොලිස් සංචාරයක් වෙනුවෙන් නිලධාරීන් 05දෙනෙකු යොදවා ඇත. එමෙන්ම හඳුනාගත් ප්‍රදේශවල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්යය බලකායට අයත් නිලධාරීන් දෙදෙනෙකු බැගින් යෙදවීමට ද පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 13552ක් යෙදවීමට ද කටයුතු යොදා ඇත.
එපමණක් ම නොව ප්‍රදේශයන්හි සාමය ආරක්ෂාක කිරීමේ කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් පමණක් ක්‍රියාත්මක වන ජංගම සේවා 99ක් ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් 1174ක ප්‍රමාණයක් ද යොදවා ඇත.
ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු සඳහා මධ්‍යස්ථාන 25ක් ක්‍රියාත්මක වන අතර එම මධ්‍යස්ථානයන්හි ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1275ක් යොදවා ඇති අතර කැරලි මර්දන කණ්ඩායම් 140ක් විවිධ පොලිස් කොට්ඨාස හා පොලිස් අධිකාරි කොට්ඨා නියෝජනය වන පරිදි ස්ථාපිත කොට ඇති අතර ඒ සඳහා කැරලි මර්දන නිලධාරීන් 1106ක් යෙදවීමට නියමිතව තිබේ.
මාර්ග බාධකයන් 464ක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා නිලධාරීන් 3248ක් යොදවා ඇත. මෙම රාජකාරි කටයුතුවලට අමතර ව පොලිස් ස්ථාන රාජකාරි කටයුතු මෙන් ම පොලිස් ස්ථාන අධීක්ෂණ කටයුතු වෙනුවෙන් ද නිලධාරීන් යොදවා ඇත.

Read more

Local News