නොගැලපෙන විවාහයක් කර ගත් මෙෙත්‍රී

Share

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

 

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවිය යුතු යැයි නියමයක් නොවු බැවින් තම අභිමතය පරිදි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවු බවයි.

එසේම පොලිස්පතිවරයාගේ විනය විරෝධි ක්‍රියාකලාප හේතුවෙන් ඔහුට ද ජාතික ආරක්ෂක කවුන්සිලය තහනම් කර තිබු බව හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නකර සිටියේ, රාජ්‍ය බුද්ධි සේවය විසින් ජාත්‍යන්තරය තුළ අයි.එස් සංවිධානයේ ක්‍රියාකාරීත්වය සහ මෙරට අභ්‍යන්තරයේ නැගී ඒම පිළිබඳව ඔබ ඇතුළු ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර තිබියදීත් මෙරට තුළ ඉස්ලාම් අන්තවාදි ක්‍රියා සිදුවීම වළක්වා ගැනීමට ඔබගේ පාලන කාලය තුළ රජය අසමත් වුණා නේද? යන්නය.

යට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, “මට බෞද්ධ අන්‍තවාදය පාලනය කර ගැනීමට හැකියාව තිබුණා, ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කළා, ඇතැම් විට මහානායක හිමිවරුන් මාර්ගයෙනුත් අදාළ උපදෙස් ලබාදුන්නා. නමුත් මුස්ලිම් අන්තවාදින් පාලනයට මට හැකියාවක් තිබුණේ නැහැ, මුස්ලිම් අන්තවාදි සංවිධානවල පිරිස් මම සෘජුව මුණගැසුනේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන සහ විදෙස් තානාපති කාර්යාල එම අන්තවාදී සංවිධාන වෙනුවෙන් පෙනීසිටීම නිසා රජයක් ලෙස අපි ඒවා මර්ධනයට උත්සහදැරීමේ දී අසීරුතාවයන්ට මුහුණ දුන්නා,” යනුවෙනි.

“2015 ජනාධිපතිවරණයේදී ඔබට අවශ්‍යකරන ජනමතය ගොඩනැගීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දෙමින් කොමිසම හමුවේ කියා සිටියා,” යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.

එහිදී සිනහවක් සමග පිළිතුරුදුන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “මැතිවරණය දින්නම එක එක කතා කියනවා, ජනාධිපති වුණා ට පස්සේ ආණ්ඩු කරන කොට වුණු මහබැංකු මංකොල්ලයෙන් තමයි රනිල් වික්‍රමසිංහව මට දේශපාලන යක්ෂයෙක් වගේ පෙනුනේ. පස්සෙයි මට තේරුණේ මම දේශපාලනික වශයෙන් නොගැලපෙන විවාහයක් කරගෙන අමාරුවෙ වැටුණා කියලා.”

මෙහිදි අතිරේක සොලිසිටර් ජනාරාල් ප්‍රශ්න කර සිටියේ “2015 ජනාධිපතිවරණයේදී සහරාන් හෂීම් ඔබට සහයෝගය දැක්වුවා නේද ?” යන්නයි.

“මම ඒ ගැන දැනුවත් නැහැ”, යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ, “මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් නාලක ද සිල්වා කරුණු ඉදිරිපත් කළාම ඒ පිළිබඳ විවෘත විමර්ශන කරන්න එපා, නිලන්ත මොනිට(ර්) කිරීම ඇති කියලා ඔබ කියලා තියෙනවා නේද?” යනුවෙනි.

“මම එය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනි, විවෘත පරික්ෂණයක් හෝ කිසිඳු විමර්ශනයක් කිසිම ආකාරයකින් කරන්න එපා කියලා මගේ කටින් පිටවෙලා නැහැ, එය සම්පුර්ණෙන්ම අසත්‍යයි,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන්නේය.

“ඔබ ජනාධිපතිවරයා ලෙස සිටි ධුර කාලය තුළ ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා පැවැත්වුවාද?” යන්න මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිට විමසා සිටි අතර එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ රට තුළ සාමාන්‍ය තත්ත්වයක් පැවති හෙයින් ආරක්ෂක කවුන්සිලය මාස්පතා පැවැත්වු බවය.

එහිදි විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ 2019 වර්ෂය තුළ ආරක්ෂක කවුන්සිල කීයක් ඔබේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවේද යන්නය.

ජනවාරි 14 සහ පෙබරවාරි 19 යන දෙදින තුළ පමණක් ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැත්වු බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ යළි ආරක්ෂක කවුන්සිලය රැස්වුයේ අප්‍රේල් 22 වන දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවීමෙන් පසුව බවය.

ජාතික ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා නොකැඳවුයේ ඇයි දැයි මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය.

එයට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ,”නෛතිකව අගමැතිවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවිය යුතු යැයි නියමයක් නොමැති අතර ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සුදුසු පුද්ගලයින් ආරක්ෂක කවුන්සිලයට කැඳවිය හැකියි,”  යනුවෙනි.

මෙහිදී, හිටපු ජනාධිපතිවරයා ඇමතූ ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ, ඔබගේ ධූර කාලය තුළ කිසිවෙකුට හෝ ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි වීම තහනම් කර තිබුණේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ,”තහනම් කළේ නැහැ, යම් යම් හැසීරිම් නිසා එන්න එපා කිව්වා, පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ ධුර කාලය තුළ නොයෙකුත් විවේචනයන්ට ලක්වුණා. ජාතික ආරක්ෂක කවුන්සිලයට ආපුවාම ෆෝන් දෙකක් තියාගෙන අයිනකට වෙලා ඔබ ඔබ ඉන්නවා, ගන්න තීන්දු තීරණ මොනවත් දන්නේ නැහැ. දවසක් ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් පස්සේ මම පෞද්ගලිකව හමුවෙලා කිව්වා, පූජිත් ආරක්ෂක කවුන්සිලයේ වැඩකටයුතුවලට අවධානය දෙන්න කියලා. 2018 මහනුවර ඇසළ පෙරහැරේදි නැටුවා, දවස් දෙකකට පස්සේ මම ගෙන්නලා ඇහුවා, පූජිත් දියවඩන නිළමෙට නැට්ටුවෝ මදිවෙලාද ඔයා නැටුවේ කියලා.  ඊට පස්සේ ආයෙත් දවසක් මාතර ඉස්කෝලෙකට ගිහින් ළමයි ඉස්සරහා ටීචර්ස්ලාගෙන් ප්‍රශ්න අහලා එතනත් ප්‍රශ්නයක් ඇති කරගත්තා.පොළොන්නරුවේ අපේ ගමේ නාවික හමුදාව සංගීත සන්දර්ශනයක් ලෑස්ති කරලා තිබුණා, පූජිත් ඒකෙදි මගෙන් ඇවිල්ලා ඇහුවා, ‘සර් මම සිංදුවක් කියන්නද කියලා ‘ මමත් ඉතිං ඔන්න ඕහේ හා කිව්වා. පූජිත් වේදිකාවට නැගලා සින්දුවක් කිව්වා, දෙකක් කිව්වා, සාමාන්‍යයෙන් ජනප්‍රිය ගායකයෙකුත් සින්දු 03 ක් කියලා වේදිකාවෙන් බැහැලා යනවා, එත් පූජිත් එකක්, දෙකක්, තුනක් නෙමේ සින්දු හයක් කිව්වා. එත් නැවැත්තුවේ නැහැ, තව ටිකක් හිටියනං මිනිස්සු හූ කියයි කියලා බැරිම තැන මම නැගිටලා ආවා, මම වාහනයට නගිනවා දැකලා සින්දු කියන එක නවත්තලා ඇවිල්ලා පූජිත් මගෙන් ඇහුවා, සර් මම සිංදු කිව්වා ලස්සනයිද කියලා. මම කිව්වා හොඳ හින්දා තමයි මම මේ යන්නේ කියලා, ඔන්න ඔය වගේ හැසීරිමක් තමයි පොලිස්පතිගේ තිබුණේ,” යැයි හිටපු ජනාධිපතිවරයා කොමිසම් සභාවේ සිනහා මැද සාක්ෂි ලබාදුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “පොලිස්පතිවරයාගේ මෙවැනි ක්‍රියාකලාප නිසා මම අගමැති රනිල්ට කිව්වා හම්බවෙලා කතාකරන්න ඕනේ කියලා. පස්සේ රනිල්, තලතා, මංගල, මලික් ඇතුළු පස්දෙනෙක් ඇවිල්ලා පූජිත්ගේ ක්‍රියාකලාප ගැන සාකච්ඡා කළා, පූජිත්ට එන්න කියලා උපදෙස් දුන්නා, කොහොම වුනත් අපි එකට වැඩ කළා. ඔය මාව හමුවෙන්න කෝල් කරන්න බැහැ කියන කතා අමූලික බොරු, මොන උත්සවයකට ගියත් මම වාහනයෙන් බහින්න කළින් පූජිත් දොර ගාව. මම PSO ට කියනවා පූජිත්ට පොඩ්ඩක් අයින් වෙන්න කියන්න දොර ඇරගන්න බැහැ කියලා,” යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන්නේය.

එසේම ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරු දිගින් දිගටම ලැබී තිබියදිත් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරින් එය නොසලකා හරිමින් තම වගකීම පැහැරහැර ඇති බව හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ සඳහන් කළේය.

එහිදී, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ කවුද වගකීම් පැහැර හැරි නිලධාරින් යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ එහි වගකීමගත යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බවය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්නකර සිටියේ ප්‍රහාරයක් පිළිබඳ තොරතුර පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ලබාදීම සිදුකර ඇත්තේ කවුද යන්නය.

“නිලන්ත ජයවර්ධන,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන් විගසම සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේ එසේනම් ඔබ ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම නිලන්ත ජයවර්ධනටද නොපවරන්නේ මන්ද යන්නය.

එම ප්‍රශ්නය ඇසීමත් සමග හිටපු ජනාධිපතිවරයා සුළු මොහොතක් නිහඬව සිටි අතර පසුව සභාපති විනිසුරුවරයා නැවත එම ප්‍රශ්නය යොමු කළේය.

“ඇයි ඔබ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකිමක් නිලන්ත ජයවර්ධනට පවරන්නේ නැත්තේ?”

එවර එයට පිළිතුරු ලෙස හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රධාන වශයෙන්ම වගකිවයුත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා බවය.

සභාපති විනිසුරුවරයා යළිත් ප්‍රශ්න කළේ ලද තොරතුර පිළිබඳ ප්‍රධාන වගකීම ඇත්තේ කාටද යන්නය.

“කවුරුන් හෝ කෙසේ හෝ එම තොරතුර මට දැන්විය යුතුව තිබුණා, ඒ කියන්නේ හේමසිරි, පූජිත්, නිලන්ත, සිසිර යන හතරදෙනාම මේකට වගකියන්න ඕනේ,”යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේය.

Read more

Local News