රියාජ් බදියුදීන්ගේ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සමක්

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභකරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනුකර තිබේ.

 

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් සෙත් සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

අතරමැදි පෙත්සම ඉදිරිපත් කළ රාමනායක පියතුමා පවසන්නේ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් නැමැති සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මෑතකදී මාධ්‍ය වලට ප්‍රකාශ කර තිබූ බවය.

එසේ තිබියදී හදිසියේ රියාජ් බදියුදීන් නමැති සැකකරු මුදාහැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබීම පිළිගත නොහැකි කරුණක් බව ඔහු පෙන්වාදෙයි.

මේ අතර, රියාජ් බදියුදීන් මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (16) මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව හදිසි අවශ්‍යතාවක් මත ගොනුකර තිබෙන හෙයින් එය සලකා බැලීම සඳහා ළඟ දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියම කළේය.

Read more

Local News