ඡන්ද මධ්‍යස්ථානයේ සිටම ඡන්දය ගණන් කිරීම සිදු කරයි

Share

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී පසුගිය මැතිවරණ වලදී සිදු කළ පරිදි ඡන්ද ගණන් කිරීම මධ්‍යගතව එනම්, දිස්ත්‍රික් මූලස්ථානයේදී සිදු නොකෙරෙන අතර ඡන්ද මධ්‍යස්ථානයේදී සිටම ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බවයි.

සියලුම පළාත් පාලන ආයතන කොට්ඨාසවලට වෙන් කර ඇති අතර කොට්ඨාසයක්, ඡන්ද මධ්‍යස්ථාන එකකින් හෝ කිහිපයකින් සමන්විත වේ. ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ඡන්ද ගණන් කිරීම සිදු කරන නමුත් ආරක්ෂක හේතු මත හෝ යටිතල පහසුකම් පිළිබඳ කරුණු මත හෝ බොහෝ අවස්ථාවලදී ඒ ඒ කොට්ඨාසවල ප්‍ර‍ධාන ඡන්ද මධ්‍යස්ථානය පිහිටි පරිශ්‍රයේදී එකී කොට්ඨාසයේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීම සිදු කරනු ලැබේ.

එවැනි විටකදී වුවද ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල ඒ ඒ පක්ෂය/ ස්වාධීන කණ්ඩායම ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව ප්‍ර‍කාශ කළ හැකි වන පරිදි ඡන්ද ගණන් කිරීම වෙන වෙනම සිදු කරනු ලබන බව සභාපතිවරයා පෙන්වා දෙයි.

තැපැල් ඡන්දය ගණන් කිරීම සිදු කරනු ලබන්නේ කොට්ඨාස මූලස්ථානය වූ ඡන්ද මධ්‍යස්ථානයේදී ය. තැපැල් ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 50කට අඩු අගයක් ගනී නම් තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දයේ රාහස්‍යභාවය සුරැකීම සඳහා එම ඡන්ද ගණන් කරනු ලබන්නේ එම ඡන්ද මධ්‍යස්ථානයේ සාමාන්‍ය ඡන්ද හිමියන්ගේ ඡන්ද සමඟ මිශ්‍ර‍ කිරීමෙනි. එනම් එවැනි විටෙක තැපැල් ඡන්ද ප්‍ර‍තිඵලය නිකුත් නොකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරයි.

තැපැල් ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 50කට වඩා වැඩිනම් එම තැපැල් ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද ගණන් කරන පරිදි වෙනම ගණන් කරනු ලැබේ.

ඒ ඒ කොට්ඨාසයේ ඡන්ද ප්‍ර‍තිඵලය එනම් ඒ ඒ කොට්ඨාසයට අදාළව ඒ ඒ පක්ෂය හා ඒ ඒ ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව, එම කොට්ඨාසයට අදාළ සියලුම  ඡන්ද මධ්‍යස්ථානවල ප්‍ර‍තිඵල වාර්තා, කොට්ඨාසයේ ප්‍ර‍ධාන ඡන්ද මධ්‍යස්ථානයේදී වගුගත කිරීමෙන් සකස් කරනු ලැබේ.

එම ප්‍ර‍තිඵල කොට්ඨාසයේ ඡන්ද ප්‍ර‍තිඵලය වේ. කේවල කොට්ඨාසයේ හෙවත් එක් සභිකයකු තෝරා ගන්නා කොට්ඨාසයක් නම් එම කොට්ඨාසයට තරග කළ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයේ/ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයා එම කොට්ඨාසයේ නියෝජිතයා ලෙස කොට්ඨාස මූලස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේදීම ප්‍ර‍කාශයට පත් කෙරේ.

බහු සභික කොට්ඨාසයක් වන විටදී අවස්ථාවෝචිතව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයේ/ කණ්ඩායමේ අපේක්ෂකයන් දෙදෙනා හෝ තිදෙනා එම කොට්ඨාසයේ නියෝජිතයා ලෙස පෙර සේ ප්‍ර‍කාශයට පත් කරනු ලැබේ.

ඒ ඒ කෝට්ඨාසයේ ප්‍ර‍තිඵල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් කාර්යාලවට එවනු ලැබීමට හා රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබේ.

ඒ ඒ පළාත් පාලන ආයතනයේ සියලුම කෝට්ඨාසවල ප්‍ර‍තිඵල තේරීම් භාර නිලධාරී කාර්යාලයේ පිහිටුවා ඇති ප්‍ර‍තිඵල වගු ගතකිරීමේ මධ්‍යස්ථානයේදී වගුගත කිරීමෙන් අනතුරුව ඒ ඒ පළාත් පාලන ආයතනය සඳහා ඒ ඒ පක්ෂය/ කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ගණනය කරනු ලැබේ. එම ඡන්ද සංඛ්‍යාව මුළු එකතුව සභාවේ මුළු සභික සංඛ්‍යාවෙන් බෙදීමෙන් ලැබෙන තීරක අගය අනුසාරයෙන් කණ්ඩායමට හිමි වන සභික සංඛ්‍යාව ගණනය කරනු ලැබේ. එහි ප්‍ර‍තිඵලය මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍ර‍කාශයට පත් කෙරෙන අතර එසැණින් ප්‍ර‍තිඵල මාධ්‍යයට නිකුත් කිරීම ද සිදු කෙරේ.

යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් ජයග්‍ර‍ණය කරන කොට්ඨාසය සංඛ්‍යාවට වඩා වැඩි සභික සංඛ්‍යාවකට හිමිකම් ලබා ඇත්නම් එම අතිරේක සභික ධුර සඳහා අතිරේක ලැයිස්තුවෙන් හෝ කෝට්ඨාස සඳහා තරග කර ජය නොලැබූ අපේකෂකයන් අතුරින් සුදුසු අපේක්ෂකයන් නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිද් තේරීම් භාර නිලධාරින් විසින් දන්වනු ලැබේ.

මෙහිදී ඒ ඒ පළාත් පාලන ආයතනයේ කාන්තා නියෝජනය 25%ක් අවමවත් තිබිය යුතු යන නියමය සාක්ෂාත් කර ගැනීම සඳහා පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරනු ඇත.

Read more

Local News