සතියක් තුළ ගෑස් ආශ්‍රිත අනතුරු 430ක්

Share

මාස එකහමාරක පමණ කාලයක සිට අපේ රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පුපුරායාම් වාර්තා වුණා.

මේ පුපුරායාම්වලට පෙර මාස දෙකකට වැඩි කාලයක් ලාෆ් සහ ලිට්‍රෝ හිඟයක් රට පුරා පැවතුණා.

මෙම පිපිරීම් වලට හේතු ලෙස සමාගම් දෙකම සෑම විටම පැවසුවේ පාරිභෝගික දුර්වලතා හා රෙගියුලේටර්, බට සහ ලිප් වල අඩුපාඩු
බවයි. නමුත් සමහර විශේෂඥයින් ගෑස් ආශ්‍රිත පිපිම්වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් බව පෙන්වා දුන්නා.

දිගින් දිගටම සිදු වූ ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් හා පිපිරීම් නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසානයේ දී කමිටුවක් පත්
කරන්න පවා සිදු වුණා. ඒ කමිටුව මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 28 වනදා දක්වා ගෑස් ආශ්‍රිත පිපිරීම්, අනතුරු සහ ගෑස් කාන්දුවීම් සිදු වී තිබුණේ 28 ක් පමණයි.

එහෙත් හිටිහැටියේ ම ඉන් සතියක් පමණ ඉක්මවා යද්දී නොවැම්බර් 29 සිට දෙසැම්බර් 05 දක්වා සතියක කාලයක් තුළ ගෑස් ආශ්‍රිත පිපිරීම්, අනතුරු සහ ගෑස් කඳු වීම් 430 ක් වාර්තා වී තිබෙනවා.

නොවැම්බර් 28 වනදා වන තෙක් සිද්ධි 28 ක් පමණක් වාර්තා වූ මෙරටින් හිටි හැටියේ ම එය පහළොස්ගුණයක් පමණ වී සිද්ධීන් 430ක් වාර්තා වීම තුළ කොතනක හෝ වරදක් සිදු වී ඇති බව ප්‍රාථමික දරුවෙකුට පවා තේරුම් ගත හැකියි. නමුත් සමාගම් වරද පිළිගැනීමට පවා නිහතමානී නොවන්නේ මන්දැයි රටටම ප්‍රශ්නාර්ථයක්.

මේ අතර කමිටුව පැවසුවේ ගෑස් කාන්දුවීම් හඳුනාගැනීමට අනන්‍ය වූ රසායනික ද්‍රව්‍ය නොමැති වීම ප්‍රධාන ගැටළුවක් බවයි.

ඒ අනුව ඒ පිලිබඳ අදාල ආයතන සහ සමාගම සමඟ සාකච්ඡා කර ගෑස් කාන්දු වීමේ දී දුර්ගන්දය හඳුනා ගැනීම සඳහා එක් කරන එතිල් මර්කැප්ටන් රසායනික ද්‍රව්‍යත් නියමිත ප්‍රමාණයෙන් ඇතුලත් කිරීමට සමාගම් එකඟ වී ඇති බව කමිටු නිවේදනයේ සඳහන්.

මේ අතර මෙම පිපිරීම් සහ අනතුරුවලට හේතුව කල් ඉකුත් වූ බාල උපකරණ භාවිතය බව ද කමිටුව පවසනවා.

ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් ප්‍රමිති ආයතනය නිර්දේශ කර ඇති රේගියුලේටර්, ගෑස් බට, හෝස් ක්ලිප් සහ උදුන් භාවිතයට ජනතාව යොමු විය යුතු බවත් කමිටු නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් අදාළ කමිටු නිවේදනයේ අවසානයේ දැක්වෙන්නේ සියලු අනතුරු සහ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් දැයි තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි.

Read more

Local News