මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් 500කට බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ පාඨමාලා හැදෑරීමට අවස්ථා

Share

මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන රූපලාවණ්‍ය ශිල්පීන් 500 දෙනෙකු හට රුපියල් ලක්ෂ 1005 ක වටිනාකමකින් යුතු බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව පාඨමාලා හැදෑරීමට අවස්ථා හිමිවන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසනවා.

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත රාජ්‍ය අමාත්‍යතුමන් 2022 ජනවාරි 25 වන දින Cambridge and oxford members club හි සිට ONLINE තාක්ෂණය ඔස්සේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා London School of Executive Education ආයතනයෙන් කළ ඉල්ලීමක් මත මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් හට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අදාළ අංශ හතරක් ඔස්සේ පාඨමාලා හැදෑරීම සඳහා මෙම සුවිශේෂී අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව පළමු අදියරේ දී 500 දෙනකුගෙන් යුත් පිරිසකට මෙම පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවන අතර එහිදී මාස 6 ක කාලයකින් යුත් මෙම පාඨමාලා සඳහා එක් අයෙක් වෙනුවෙන් වැයකරන මුදල රුපියල් ලක්ෂ දෙකකට වඩා අධිකයි.

පාඨමාලාව සම්පූර්ණ කරන රූපලාවණ්‍ය ශිල්පීන් හට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත්‍රයක් හිමි වනු ඇත.

මෙහිදී අදාළ පාඨමාලා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබන අතර පාඨමාලාව හදාරන පිරිසට මව්බසින් සහාය ලබා ගැනීම සඳහා ද අවස්ථාව උදා වනවා.

මහාචාර්ය ජෝන් වයිට් මහතා, ආශිශ් මහතා, ලන්ඩන් ස්කුල් ඔෆ් එක්සෙගෙටිව් එඩියුකේෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී (C.E.O, London school of executive education ) චමින්ද ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සමඟ එක් වුණා.

Read more

Local News