අවසාන කසළ බහාලුම් 45 ත් ප්‍රතිඅපනයනය කෙරේ

Share

පසුගිය කාලයේ දී ඉමහත් ආන්දෝලනයට ලක් වූ බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ඒවා තිබුණ අප ද්‍රව්‍ය අඩංගු බහාලුම් 242 ක් අතුරින් අවසාන බහාලුම් 45 ක් ප්‍රතිඅපනයනය කිරීම අද දින සිදු කරනු ලැබුවා.

කොළඹ වාරයේ පිහිටි CICT අංගනයේ වෙත ඊයේ පැමිණි Ever Genius නෞකාව මගින් මෙම බහාලුම් අද දින උදෑසන නැවතත් බ්‍රිතාන්‍යය වෙත නැවුගත කරනු ලැබුවා.

මෙම නෞකාව අද දින රාත්‍රි 8.00 ට පමණ කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතයි.

2019 වසරේ ශ්‍රී ලංකා රේගුවේ සමාජ ආරක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ආරම්භ කළ විමර්ශනයක දී බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කරන ලද සායනික අපද්‍රව්‍ය, පාවිච්චි කරන ලද කුෂන් සහ මෙට්ට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ වර්ගීකරණය නොකල හා අන්තරායක අපද්‍රව්‍ය අඩංගු අඩි හතළිහේ බහාලුම් දෙසිය හතළිස් දෙකක් සොයා ගනු ලැබුවා.

ඉන් බහාලුම් 112 ක් කොළඹ වාරයේ තැන්පත් කර තිබුණ අතර ඉතිරි බහාලුම් 130 ඒ වන විටත් වරායෙන් නිෂ්කාශනය කර කටුනායක පිහිටි ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික ආයතනයක පරිශ්‍රයේ තැන්පත් කර ඇති බව අනාවරණය වුණා.

රේගු විමර්ශනයේ දී හෙළි වූ කරුණු අනුව එම බහාලුම් ජාත්‍යන්තර බාසල් සම්මුතියේ විධි විධානවලට පටහැණිව ජාතික පාරිසරික පනත සහ රේගු ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කර තිබුණා.

රේගු විමර්ශනය අතරතුර මේ සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පවරන ලද අතර එම කසල අඩංගු බහාලුම් 242 වහාම ක්‍රියාත්මක වන පරිදි යළි බ්‍රිතාන්‍යයට හරවා යැවීමට කටයුතු කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

ඒ අනුව 2020 වසර තුළ කොළඹ වරාය තුළ තිබූ කසල අඩංගු බහාලුම් 112 ක් බ්‍රිතාන්‍යය වෙත පිටත් කර යැවීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරනු ලැබුවා.

තවද ශ්‍රී ලංකා රේගුව විසින් කටුනායක පිහිටි පෞද්ගලික ආයතන පරිශ්‍රයේ තැන්පත් කර තිබූ බහාලුම් 130 සුරක්ෂිත කර එයින් බහාලුම් 85 ක් පසුගිය වසර තුල අවස්ථා නවයක දී බ්‍රිතාන්‍යයට ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරනු ලැබුවා.

මෙම කසල අඩංගු බහාලුම් ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා රේගුව වෙත නොමඳ සහයෝගය ලබා දුන්නා.

මෙම නීති විරෝධී ක්‍රියාවට දායක වූ පුද්ගලයින්ට සහ ආයතන වලට එරෙහිව රේගු ආඥාපනතේ විධිවිධාන යටතේ පියවර ගැනීමට ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් කටයුතු කරනු ලැබේ.

Read more

Local News