ගමන්මලු තුල සඟවාගෙන නීති විරෝධීව ඩුබායි වෙත රැගෙනයාමට තැත්කල වල්ලපට්ටා (Gyrinops walla) ශාක කැබලි කිලෝග්‍රෑම් 4.5 ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුණායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පිටත්වීමේ පර්‍යන්තයේදී ඊයේ (2022 මැයි 23) දින අත්තඩංගුවට ගැනීමට එහි රාජකාරියේ නියුතු රේගු නිලධාරීන් කටයුතු කර තිබේ.
මෙම වල්ලපට්ටා කැබලි මගියා සතු ගමන්මලු තුල පළතුරු සහ එලවලු අතර සැක නොසිතෙන ආකාරයෙන් සූක්ෂමව සඟවා තිබී ඇති අතර ඔහුගේ සැකකටයුතු ගමන්වාරය පිලිබඳ සෑහීමකට පත්නොවූ රේගු නිලධාරීන් සිදුකල වැඩිදුර පරීක්ෂාවෙදී මෙම වල්ලාපට්ටා ශාක කොටස් කිලෝග්‍රෑම් 4.5 සොයාගෙන තිබේ.
එහි වෙළඳපල වටිණාකම රුපියල් පහලොස් ලක්ෂ හැත්තෑපන්දහසක් (1,575,000/-) පමණ වන බවට රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ අංශය විසින් තක්සේරු කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් සිදු කල රේගු විමර්ශනය අවසානයේ මෙම භාණ්ඩ රාජසන්තක කිරීමට කටයුතු කර තිබේ.
වල්ලපට්ටා ශාකය ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් වන අතර එහි ස්වාභාවික ක්‍රියාවලියක් මගින් ආසාත්මිකතාවයකට එරෙහිව නිපදවන රෙසින අඩංගු ශාක කොටස් මිල අධික සුවඳවිලවුන් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදාගනී. කෙසේ වෙතත් වන සංරක්ෂණ පනතේ විධිවිධානයන්ට අනුව වන සංරක්ෂක ජෙනරාල්ගේ ලිඛිත අවසරයකින් තොරව මෙම ශාක වලට හානි කිරීම, ප්‍රවාහනය, විකිණීම සහ අපනයනයට තැත් කිරීම නීති විරෝධී වේ.







