අසීමාන්තිකව විදුලි බිල ඉහළ යාමත් සමග ඊට එරෙහිව මේ වන විට බරපතල සමාජ විරෝධයක් ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ අතර සර්ව ආගමික නායකයින්ද ප්‍රධානයි. නව විදුලි බිල සංශෝධනය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මුහුණ දෙන ගැටලු හා දුෂ්කරතාවයන් පිළිබඳව ත්‍රෛනිකායික මහ නා හිමිවරු ඊයේ දින ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් ද යොමු කර තිබුණා.
අදාළ ලිපිය මඟින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විශේෂ කරුණු කිහිපයක් කෙරෙහිම ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. නමුත් මේ වන තෙක් ඒ සඳහා ජනාධිපති ප්‍රතිචාරයක් යොමු වී නැහැ. අදාළ ලිපිය මගින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආගමික සිද්ධස්ථාන මුදල් උපයන කර්මාන්ත ලෙස සිතා මෙම විදුලි බිල වැඩි කර ඇති බවත් සහ එය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.
මේ අතර ආගමික සිද්ධස්ථාන සඳහා විදුලි සහනාධාර ලබාදීමට මහා භාණ්ඩාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන වෙන් කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බවයි එහි සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ.
ප්‍රතිපාදන වෙන්කර ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දීමක් සිදු කිරීමෙන් අනතුරුව එම විදුලි සහනාධාර ලබා දිය හැකි බව ද සභාපතිවරයා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දිළිඳු ජනතාව හා ආගමික ස්ථාන ඇතුළු තෝරාගත් පාර්ශව කිහිපයකට විදුලි සහනාධාර ලබාදීම සඳහා රුපියල් බිලියන හැට පහක් ලබා දෙන්නැයි කල ඉල්ලීමට මහා භාණ්ඩාගාරය කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි.



