පිත්තාශයේ ගල් හා වැරදුන සැත්කම

Share

ජාඇල දෑලතුර ප්‍රදේශයේ පදිංචි බුද්ධිකා හර්ෂනී ධර්මවික්‍රම පසුගිය මස දහතුන් වනදා යුගදිවියට එළඹුණේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳන්.

ඉන් දින දාහතකට පසු හර්ෂනීට අනපේක්ෂිත ලෙස සිය ජීවිතයෙන් සමුගන්නට සිදු වුණා. ඇගේ අවාසනාවන්ත මරණය සිදුවන්නේ සුළු රෝගී තත්වයක් හමුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුරයි. රෝගී තත්වය හමුවේ රෝහල් ගත වන හර්ෂනී හට සැත්කම සිදු කළ යුතු බවත් ඇගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බවත් ඇය පරීක්ෂා කල පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයා පවසා තිබෙනවා.

ඒ අනුව පසුගිය තිස් එක් වනදා වත්තල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකදී සැත්කමක් සිදුකර ඇති අතර අදාළ සැත්කමෙන් පසුව ඇතිවූ සංකූලතා හමුවේ ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

එහිදී රෝගී තත්වය උත්සන්න වීම හමුවේ අසාධ්‍ය තත්වයට පත්වූ හර්ෂනී, අවාසනාවන්ත ලෙස පසුගිය විසිපස් වනදා ජීවිතයෙන් සමුගත්තා. ඇගේ උපන්දිනය පසුගිය විසිහත් වනදාට යෙදී තිබූ අතර, ඇගේ නිසල දේහය තැන්පත් කර තිබූ ඇගේ නිවසට පැමිණි ඥාතීන් හර්ෂනීගේ උපන්දිනය සිහිපත් කළේ, දැඩි සංවේගයෙන්.

ඇගේ ඥාතීන් චෝදනා කර සිටින්නේ සැත්කම සිදුකළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හමුවේ මෙම මරණය සිදු වූ බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරියගෙන් විමසීමක් සිදු කළා.

හර්ෂනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

Read more

Local News