කෙටි කාලීන අවශ්‍යතා සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය Twitter ගිණුමේ සටහනක් තබා තිබෙනවා. අදාළ Twitter සටහනේ දැක්වෙන්නේ ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටිකාලීන අවශ්‍යතා සඳහා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් අනුව සිදුකරන බවයි.
එමෙන්ම ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදිංචි වී නොමැති මෙම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට මේ සඳහා සහභාගී විය හැකි බවත්, අවම දින එකසිය අසූවක ණය කාලයක් සමඟ සැපයුම සම්පූර්ණ කළ හැකි විය යුතු බවත්, අමාත්‍යවරයා අදාළ Twitter සටහනේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.
එමෙන්ම ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා දීර්ඝ කාලීන ටෙන්ඩරය එළඹෙන සතියේ නිකුත් කරන බවයි අමාත්‍යවරයා සිය Twitter සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.
මේ අතර ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ණය ප්‍රමාණයන්ගෙන් කොටසක් භාණ්ඩාගාරයට යළි ගෙවීමට හැකි වූ බව ලිට්රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ එම සම්පුර්ණ මුදල ලබන දෙසැම්බර් මාසය වන විට මහා භාණ්ඩාගාරයට ගෙවා අවසන් කිරීමට සැලසුම් කරන බවයි.



