පුරා හැත්තෑ තුන් වසරක අභිමානනීය මෙහෙවරක් ශ්‍රී ලංකා ධරණී තලය වෙනුවෙන් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ෂ එක්දාස් නමසිය හතලිස් නමය, ඔක්තෝබර් දහවන දින, යුද්ධ හමුදා පනත සම්මත කිරීමත් සමඟ ආරම්භ වන්නේ, ජාතියේ අභිමානවත් ආරක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා දීපයේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධිපත්‍ය උදෙසායි.
දශක තුනක් පුරා අප මව්බිම වෙලාගෙන සිටි ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය නිදහස් කර ගැනීම පිණිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිදුකළ අමිල මෙහෙවර ඉතිහාසයේ රන් අකුරින් ලියවී අවසන්.
හදිසි ආපදා, ස්වභාවික ව්‍යසන තත්වයන් වලදී පවා අප රටත් ප්රජාවත් වෙනුවෙන් දිවි දෙවෙනි කොට ඇප කැපවෙන ශ්‍රී ලංකා යුධ හමුදාව සදා කල්හිම මේ මාතෘ භූමිය සුරක්ෂිත කරන ජාතියේ විසල් ප්රාකාරයයි. කොවිඩ් 19 උවදුර හමුවේද ආරක්ෂක පෙරගමන්කරුවා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉටුකළ මෙහෙවරද ශ්‍රී ලාංකික ජාතිය වශයෙන් අප කෘතඥ පූර්වකව සිහිපත් කරන්නෙමු.
හැත්තෑ තුන්වන සංවත්සරයට පසුගිය දිනයන්හි වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මක කරනු ලැබුවා.
ඒ අනුව අද දින පනාගොඩ යුද හමුදා කඳවුරේ විශේෂිත සම්මාන පෙළපාලියක් පැවැත්වෙනවා.
අප භූමියේ ස්වෛරීභාවය උදෙසා රණබිම මත දිවි පිදුම් මෙන්ම අදත් මේ මව්බිමේ වෙනුවෙන් ඇප කැප වන ශ්‍රී ලංකා යුද හමුදාවේ අභීත ලක්විරුවනි, මේ ඔබට පිදෙන ජාතියේ හෘදයාංගම උත්තමාචාරයයි.



