පුංචි ඡන්දයේ දිනය තීරණය කරන තීරණාත්මක සාකච්ඡාව ඇරඹෙයි

Share

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ වී තිබෙනවා.

එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ අද පෙරවරු දහයයි තිහට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වූ බවයි.

පස් දෙනෙකුගෙන් සමන්විත මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සිව් දෙනෙකු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටිනවා.

මෙම සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් වන අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර පවතින ගැටළුකාරී තත්වයන් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණය එළඹෙන නව වනදා පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා.

මැතිවරණය නියමිත දිනට පවත්වන බවට මීට පෙර මැතිවරණය කොමිෂන් සභාව අධිකරණයට දන්වා සිටි නමුත් නිසි ලෙස මුදල් නොලැබීම ඇතුළු අවශ්‍ය සෙසු පහසුකම් නොලැබීම මත මැතිවරණය ලබන නව වනදා පැවැත්වීමට නොහැකි බවට අධිකරණයට මැතිවරණ කොමිෂන් සභාව කරුණු වාර්තා කළා.

පවතින තත්වය හමුවේ ලබන නව වනදා මැතිවරණය නොපැවැත්වෙන බවත් යලි ඡන්දය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණය අද දින ගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළා.

ඒ අනුව දින නියමයකින් තොරව කල්ගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරනු ඇති.

Read more

Local News