විදුහල්පති පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර

Share

පාසල් පද්ධතියේ කාලීන තත්වය පිළිබඳ සළකා බැලෙන පුළුල් සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලූ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මේ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් හා විභාග කොමසාරිස්වරයා පැමිණ සිටි අතර විද්‍යාපීඨ කොමසාරිස්වරයා සහ ප්‍රකාශන කොමසාරිස්වරයා ඇතුළු සියලූ ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහභාගී වී සිටියේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ය.

මේ සාකච්ඡාවේ දී පාසල් පෙළපොත් හා නිල ඇඳුම් ඛෙදා දීම පිළිබඳ ව කරුණු සාකච්ඡා වූ අතර ඩෙංගු වසංගත තත්වය පාලනය කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද පුළුල් අවධානයක් යොමු කෙරිණ.

ඒ අනුව 2023 මැයි මාසයේ 29 සිට ජූනි 08 දක්වා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන 3568ක් සහිත පාසල් පරිශ්‍රයන්හි මදුරු පාලන ධූමායන කටයුතු සිදු කෙරෙනු ඇත.අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම මත සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධ ව මෙම කටයුතු කඩිනම් ව සිදු කිරීමට නියමිත ය.

මත් උවදුරට පාසල් දරුවන් ගොදුරු වීම වලක්වාගැනීමට මේ වන විටත් අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග එලෙසින් ම ක්‍රියාවට නැංවීමටත් සිසු, ගුරු, දෙගුරු දැනුම්වත්කිරීම් තවදුරටත් පුළුල් කිරීමටත් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

දිවයිනේ සියලූ පාසල්වල එක ශ්‍රේණියේ සිට පාසල් ළමුන්ට ඉංග්‍රීසි භාෂාව කථනයෙන් ප්‍රායෝගික ව ඇරඹීම ද 2023 නව පාසල් අධ්‍යයන වාරය ආරම්භයේ සිට ම ක්‍රියාත්මක කෙරෙන බවත් අවශ්‍ය සමීක්ෂණ සිදු කරමින් එය අඛණ්ඩ ව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් මෙහි දී සාකච්ඡා විය.

විද්‍යාපීඨ පුහුණුව අවසන් කළ ශික්ෂණලාභීන් 7800කට ගුරුපත්වීම් ලබාදීම ලබන ජූනි මස 15 දින සිදු කරමින් පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු කරන බව ද මෙහි දී පැවසිනි.

උපාධිධාරී ගුරුපත්වීම් හා විදුහල්පති පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාල පත්වීම් ඉක්මනින් ලබා දෙන ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත උපදෙස් ලබා දෙන ලදී.

ලබන වසරේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යන කටයුතු ක්‍රමානුකූලව සාමාන්‍ය තත්වයට ගෙන ඒමට විභාග කාල සටහන යාවත්කාලීන කිරීමට බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමද මෙහිදී සිදු විය.

Read more

Local News