2022 අරගලයට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප – විදෙස් ගමන් තහනම්

Share

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදා හැරීමට අද (27) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය මෙම තීරණයට එළැඹී තිබුණා. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, ඔහුට විදේශ ගමන්ද තහනමක්ද පනවා තිබෙනවා.

එමෙන්ම, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට කැඳවන අවස්ථාවල පෙනී සිටිමින් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙසයි සැකකරුට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ. එසේ නොකළහොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහේස්ත්‍රාත්වරිය අවධාරණය කර ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ. මෙම නඩුව සැප්තැම්බර් මස 03 වන දින නැවත කැඳවීමට නියමිතයි.

Read more

Local News