අභියාචනාධිකරණය අද (19) යාපනය මහ නගර සභාවට නියෝග කළේ, යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගතහැකි සියලු පියවර ගන්නා ලෙසයි.
උමා සුඛී නඩරාජා නම් යාපනයේ වෛද්‍යවරියක් විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී, යාපනයේ වායු දූෂණය අවම කිරීම සඳහා පරිසර පනත්වල විධිවිධාන අනුව කටයුතු කර තිබේදැයි සභාපති විනිසුරුවරයා විසින් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගෙන් විමසා තිබෙනවා. ඒ අනුව, යාපනය මහ නගර සභාවට අණ පනත්වල සඳහන් විධිවිධානයන්ට අනුකූලව පරිසර දූෂණය වැළැක්වීමට කටයුතු කරන ලෙස විනිසුරු මඩුල්ල දැනුම් දුන් අතර, මධ්‍යම පරිසර අධිකාරිය ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බවද මෙහිදී අවධාරණය කර තිබෙනවා.
යාපනය ප්‍රදේශයේ කැලිකසල සහ පරිසරයට මුදා හරින රසායනික අපද්‍රව්‍ය නිසා වායු දූෂණය සිදුවන බවත්, මෙම තත්ත්වය වැළැක්වීමට නියෝග කරන ලෙසත් ඉල්ලා අදාළ වෛද්‍යවරිය මෙම පෙත්සම ගොනු කර තිබූ බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.