වවුනියාව නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති තනතුරුවලට අභියාචනාධිකරණයෙන් තහනමක්

Share

වවුනියාව නගර සභාවේ නගරාධිපති (සුන්දරලිංගම් කාන්දීපන්) සහ නියෝජ්‍ය නගරාධිපති (පරමේශරන් කාර්තිපන්) යන තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වවුනියාව නගර සභා සාමාජිකයින් දෙදෙනෙකු (කන්දයියා විජය කුමාර් සහ සිවසුභ්‍රමණියම් ප්‍රේමදාස්) විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇති අතර එය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වේ. පෙත්සම යළි නොවැම්බර් මස 19 වනදා කැඳවීමට නියමිතයි.

පෙත්සමෙහි චෝදනා කර ඇත්තේ, නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රමාණවත් ඡන්ද ලබා නොගත් බවත්, නියෝජ්‍ය නගරාධිපතිවරයා නගර සභා බල ප්‍රදේශයෙන් පිටත පදිංචි අයෙකු බවත්ය. එම නිසා ඔවුන්ට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මෙම නියෝගය ලබා දී ඇත්තේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලයි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිට ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News