මාධ්‍යවේදියකුට අමානුෂික ලෙස සැලකූ අලව්ව පොලිස් නිලධාරීන් 3කට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Share

පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක  මාධ්‍යවේදියෙකු වන තිළිණ රාජපක්ෂට වාචිකව බැණ වැදී පහර දී අමානුෂික සැලකීම් වලට භාජනය කිරීම තුළින් අලව්ව පොලිසියේ නිලධාරීන් තුන්දෙනෙකු ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිකුත් කර තිබෙනවා.

අදාළ මාධ්‍යවේදියා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසිනුයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

ඒ අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු එවක අලව්ව පොලිසියේ සැරයන්වරුන් වශයෙන් සේවය කළ රවින්ද්‍ර කුමාර, බී.එම්.එස්.එස්. විජේබණ්ඩාර සහ පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරීන් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් 25000 බැගින් රුපියල් 75000ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වී තිබෙනවා.

ඊට අමතරව වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක්  පවත්වා චෝදනා ගොනු කිරීමට හැකියාව සොයා බලන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබුවා. මාධ්‍යවේදියා අධිකරණයට පැවසුවේ 2021 මාර්තු 1 වැනිදා පොල්ගහවෙල සිට කොළඹ බලා යතුරුපැදියෙන් එමින් සිටියදී මාර්ග නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පොලිස් නිලධාරීන් තමන්ව නතර කළ බවයි.

තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට කරුණු ඉදිරිපත් කරද්දී පොලිස් නිලධාරීන් තමන්ට අපහාස කරමින් බැණ වැදුණු බවත්, ඔවුන්ගේ ක්‍රියා කලාපය වීඩියෝ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී තමන්ට පහර දුන් බවත් ඔහු සඳහන් කළේය.

වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගේ මෙම අතනෝමතික ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Read more

Local News