අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) දින අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වී තිබෙනවා.
මෙහිදී, මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය වැදගත් තීරණ කිහිපයක් අනාවරණය කර තිබෙනවා. ඒ අනුව, 2027 වසරේ සිට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා තනි, ඒකාබද්ධ විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවත් පූර්ව ළමාවිය විෂය මාලා රාමුව දැනටමත් සම්පූර්ණ කර ඇති අතර, ඊට අදාළව, පෙරපාසල් ගුරුවරුන් 19,000කට ආසන්න පිරිසක් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් 25 වන දින ආරම්භ කිරීමට නියමිත බවත්ය. මෙම ගුරු පුහුණුවීම් සෑම පළාතක ම සිදු කිරීමට නියමිත අතර, එය නව විෂය මාලා රාමුවට අනුකූලව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අඩිතාලම දමනු ඇත.
තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, කිසිදු පාසලක් වසා නොදමන බවත්, ඒ වෙනුවට වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම බවත්ය. මෙම පියවර ගනු ලබන්නේ සමස්ත අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය තහවුරු කිරීමට සහ සියලු දෙනාට සම අවස්ථා ලබා දීමට බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම අනුකමිටු රැස්වීමට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ඇතුළු ජාතික අධ්‍යාපන ආයතනයේ හා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී තිබුණා.