හම්බන්තොට අලි රක්ෂිත කලාපයට අලි ඇතුන් පලවා හැරීමේ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Share

අවට ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් අභියාචනාධිකරණය මගින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ ක‍ර තිබෙනවා. විනිවිද පදනම මගින් ගොනු කර තිබූ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට වන අලි රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් ක්‍රියාත්මක කරන මෙහෙයුම හේතුවෙන් අලි ඇතුන්ට විශාල පීඩාවක් සිදු වී ඇති බවයි.

ගුවන් හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් 2000 කට අධික පිරිසක් සහභාගී වී සිටින බවට තොරතුරු ලැබී ඇති මෙම මෙහෙයුමේදී අලි ඇතුන් පලවා හැරීම සඳහා සිදු කරනු ලබන පිපිරවීම් හේතුවෙන් ඇතැම් අලි ඇතුන් තුවාල ලබන බවත් පිපිරීම් හරහා අති විශාල ශබ්ද හේතුවෙන් ගර්භනී තත්ත්වයෙන් පසු වන ඇතින්නියන් දැඩි ලෙස පීඩාවට පත්වන බවත් නීතීඥවරිය පෙන්වා දී තිබෙනවා. එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර සංවිධානයට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සම තුළින් එල්ල කර තිබෙන චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තත්ත්වය මත මෙම පෙත්සම පවත්වාගෙන යාමට සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉන් අනතුරුව රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අලි ඇතුන් ආරක්ෂා කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තම අධිකරණය විසින් රජයට මේ වනවිටත් නියෝගයක් නිකුත් කර තිබෙන බව පෙන්වා දුන්නා. එම වැඩපිළිවෙල තුළ මෙම පෙත්සමේ සඳහන් කරුණු ද අවධානයට භාජනය වන බවත් අභියාචනාදිකරණයේ සභාපති විනිසුරුවරයා පැවසුවා. ඒ අනුව දෙපාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කලා.

Read more

Local News