මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට දින දෙයි

Share

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කර තිබෙනවා. මෙම අභියාචනා පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා පෙත්සම් විභාගය සඳහා මාර්තු මස 9 වනද කැඳවන බවයි.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු කරනු හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් හා නලින් ප්‍රනාන්දුට බරපතල වැඩි සහිත වසර 25 ක සිර දඬුවම් නියම කෙරුණා. එම දඬුවමට එරෙහිව මොවුන් මෙම අභියාචනා ඉදිරිපත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා.

Read more

Local News