රුසියානු ඉන්ධනවලට යළි සම්බාධක පැනවීමට ඇමෙරිකාව සූදානම් වෙයි

Share

රුසියානු තෙල් ප්‍රවාහනයට එරෙහි සම්බාධක නැවත පැනවීම සඳහා ඇමෙරිකාවට නුදුරේදීම පියවර ගත හැකි බව G7 සමුළුව අතරතුරදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ප්‍රවාහනය සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු රුසියානු ඉන්ධන ප්‍රවාහනයට එරෙහි සීමා නැවත ක්‍රියාත්මක කළ හැකි බව ඔහු සඳහන් කර ඇත.
ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මාර්තු මාසයේදී දින 30ක විශේෂ නිදහසක් යටතේ මුහුදේ රඳවා තිබූ රුසියානු බොරතෙල් සහ ඛනිජ නිෂ්පාදන මිලදී ගැනීමට අවසර ලබා දී තිබිණ. පසුව ඉරානය හා පැවති ගැටුම් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඇති වූ අවහිරතා හේතුවෙන් එම සහනය දීර්ඝ කෙරිණ.
මේ අතර සමුළුව අතරතුරදී, යුක්‍රේන ගැටුම අවසන් කිරීම සහ ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් Friedrich Merz සමඟ  සාකච්ඡා පැවැත්වීය.
ට්‍රම්ප් සමඟ පැවැති හමුවෙන් අනතුරුව සෙලෙන්ස්කි පැවසුවේ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් රුසියාව සමඟ පැවැත්වෙන මීළඟ සාකච්ඡා ශීත ඍතුවට පෙර පැවැත්වීම ඉතා වැදගත් බවයි.
එසේම, යුක්‍රේනය තුළ බැලස්ටික් මිසයිල නාශක පද්ධති නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ද ට්‍රම්ප් සමඟ සාකච්ඡා කළ බව වාර්තා වේ.
මේ අතර, කැනඩා අගමැති Mark Carney රුසියාවට එරෙහි නව සම්බාධක පැනවීමට තම රජය තීරණය කර ඇති බව නිවේදනය කළේය. බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer පැවසුවේ, රුසියානු නෞකා, මූල්‍ය ජාල සහ ඇතැම් පුද්ගලයන්ට එරෙහිව නව සම්බාධක ප්‍රකාශයට පත් කළ බවයි.
රුසියාව බටහිර රටවල මෙම ක්‍රියාමාර්ග විවේචනය කර තිබේ.රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා පැවසුවේ, ඊශ්‍රායලය සහ රුසියාව සම්බන්ධයෙන් සම්බාධක ක්‍රියාත්මක කිරීමේදී බටහිර රටවල් අනුගමනය කරන ප්‍රවේශය එකිනෙකට වෙනස් බවයි.
වෙනත් රටවලට සම්බාධක පැනවීමට රුසියාව අපේක්ෂා නොකරන බව අවධාරණය කළ රුසියානු විදේශ අමාත්‍යවරයා, වැඩිදුරටත් සඳහන් කළේ, සියලු රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ ආරක්ෂක මණ්ඩලයේ බලතලවලට ගරු කළ යුතු බවයි.

Read more

Local News