ඩොලර් බිලියනයකට අධික මුදලක් රටින් පිටකිරීමේ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

Share

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ව්‍යාපාරිකයෙකු සහ පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා ලබන සැප්තැම්බර් 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අදාළ බැංකු නිලධාරීන් සිව්දෙනා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්‍රතික්ෂේප කළේ, මෙය සංකීර්ණ විමර්ශනයක් බැවින් මේ අවස්ථාවේ ඇප ලබාදීමෙන් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පවසමින්.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් ජිෆ්රිගේ සේවකයින්ගෙන් ලබාගත් ප්‍රකාශ මත බැංකු නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවයි.

විදේශ විනිමය නීතිවිරෝධී ලෙස ප්‍රේෂණය කිරීම, කූට ලේඛන සකස් කිරීම, අන් අයෙකු ලෙස පෙනී සිටීම සහ රේගු ආඥා පනත යටතේ වැඩිදුර විමර්ශන සිදුකරන බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

එමෙන්ම ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් බැංකු ගිණුමක තැන්පත් කිරීම සම්බන්ධයෙන්ද නීතිමය කටයුතු සිදුකරන බව අධිකරණයට දැනුම් දුන්නා.

විමර්ශනවලදී සමාගම් 89ක් සහ බැංකු 12ක ගිණුම් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත්, එම සමාගම් අතරින් 36ක් පමණක් ප්‍රධාන සැකකරුට අයත් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් සඳහන් වුණා.

සිද්ධියට අදාළව බැංකු තුළ සිදුවී ඇති නොසැලකිලිමත්කම් සහ තවත් නිලධාරීන් සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳවද විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Read more

Local News