චීනයේ තායිවාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට ආයෝජන සිදු කිරීමටත් සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කර ගැනීමටත් චීන මහා ගොඩබිම සැමවිටම හොඳම ස්ථානය බව චීනය අවධාරණය කරයි. තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ආර්ථික සබඳතා වෙන් කිරීමට දරන දේශපාලනික උත්සාහය අසාර්ථක වනු ඇති බවද චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශක Zhang Han මහත්මිය මේ බව පැවසුවාය.
තායිවාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ විදේශ ආයෝජන අතරින් චීන මහා ගොඩබිම වෙත යොමු කෙරෙන ආයෝජන ප්‍රතිශතය මේ වසරේ අඩු වී ඇති බවට තායිවානයේ ප්රජාතන්ත්රවාදී ප්‍රගතශීලි පක්ෂ (DPP) බලධාරීන් ඉදිරිපත් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් වාර්තාකරුවකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ආර්ථික හුවමාරු හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම ආර්ථික ඒකාබද්ධතාව ඉදිරියට ගෙන යාම දෙපාර්ශ්වයටම ප්රතිලාභ අත්කර දෙන බව සැබෑ තත්ත්වයන් මගින් පැහැදිලි වී ඇතැයි ද ඇය පැවසුවාය.
මේ අතර, තායිවාන ව්‍යාපාරිකයන්ට ලබාදෙන මූල්‍ය සහාය පුළුල් කිරීම සහ තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ආර්ථික ඒකාබද්ධතාව පුළුල් කිරීම අරමුණු කරගනිමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය සහ චීන ආනයන හා අපනයන බැංකුව පසුගියදා ගිවිසුමකට ද එළඹ තිබේ. ඉදිරි වසර පහ සඳහා ක්‍රියාත්මක වන මෙම ගිවිසුම යටතේ තායිවාන ව්‍යාපාරිකයන්ට පුළුල් මූල්‍ය සේවා සැපයීමටත්, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.



