පින්ලන්තය, ස්විට්සර්ලන්තය වැනි රටවල සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයෙන් ම වෘත්තිය අධ්‍යාපනය සඳහා යොමු කිරීම සිදු කරනු ලබයි. මේ නිසා පාසලෙන් ඉවත් වන්නේ වෘත්තිමය කුසලතාවක් සහිත පුරවැසියෙක් බවට එරට අධ්‍යාපන ක්‍රමය සහතික වේ.සමාජය වෙතින් ඊට සුළු හෝ විරුද්ධ මතවාදයක් ඉදිරිපත් වූ විට එම ක්රමයන් ඉදිරියට යාම නවතා ලූ අතර තවමත් ලංකාවේ ශ්‍රම ඉල්ලුමට සරිලන පරිදි වෘත්තිකයන් බිහි කිරීමට නොහැකි වී ඇත්තේ එනිසායි.
සිමාමායිම් නොතකමින් අනාගතය සඳහා පාසල් දරුවන් සවිමත් කරන අදහසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන හෙවත් වෘත්තිය ප්‍රවේශය යනුවෙන් වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ ඒ අනුවයි.
2017 වසරේ දී නියාමක ව්‍යාපෘතියක් ලෙස පාසල් 42ක් තෝරාගනිමින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2018 වසරේ දී තවත් පාසල් 154ක් ද, 2019 වසර වනවිට පාසල් 114ක් ද සම්බන්ධ කරගනිමින් මේ වනවිට පාසල් 310ක සාර්ථක ව ක්‍රියාවට නැංවෙයි.සිංහල මෙන් ම දෙමළ මාධ්‍යයෙන් ද මෙම වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබා දී ඇති අතර මේ වනවිට දෙමළ මාධ්‍යයෙන් වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම කෙරෙන පාසල් සංඛ්‍යාව 106කි.
මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට වසර දෙකක පුහුණු කාලසීමාව අවසානයේ දී ජාතික වෘත්තීය සුදුසුකම 4 මට්ටම (NVQ Level 4) ලබාදෙන අතර, ඉන් අනතුරුව උපාධි මට්ටම තෙක් වැඩිදුර අධ්‍යාපන අවස්ථා ලබාගැනීමට ද, දේශීය හා විදේශීය රැකියා අවස්ථා ලබාගැනීමට ද ඉඩප්රස්ථා සැලසෙයි.

මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවාගැනීමට ද පාසල්වල සුහුරු පන්තිකාමර ද ඇතුළත්ව ඉඩ පහසුකම් ලබාදීමට ද මේ වනවිටත් පියවර ගෙන තිබේ.
අනාගත වැඩලෝකයට ගැළපෙන මානව සම්පත් මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම අරමුණු කරගනිමින් උසස් පෙළ විෂය ධාරාවට අලුතින් හඳුන්වා දී ඇති වෘත්තීය විෂය ධාරාව යටතේ වසර 13ක සහතික කළ අධ්‍යාපනයක් ලැබීමට මේ අනුව සිසුන්ට අවස්ථාව සලසා දී ඇත. මෙහි විශේෂත්වය වන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය කවරක් වුව ද, මෙම විෂයධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඕනෑම සිසුදරුවෙකුට අවස්ථාව සලසා තිබීමයි.
සාමාන්‍ය පෙළ සමත් අසමත් භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව ලබන සියලු සිසුන්ට නවීන වැඩලෝකයට ගැළපෙන වෘත්තීය විෂයයන් 26ක් අතරින් තමන් කැමති විෂයයන් 3ක් තෝරාගැනීමට අවස්ථාව සලසා තිබීම ද තවත් විශේෂත්වයකි.

ආගන්තුක සත්කාරය, පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණය ඇතුළු වෘත්තීය විෂයයන් 26ක් ඒ අනුව මෙම වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් කර තිබේ.මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට පළමු වර්ෂය පාසල තුළ තෝරාගත් විෂය ක්ෂේත්‍ර තුනක් යටතේ න්‍යායාත්මක පුහුණුවක් ලබාගැනීමටත් දෙවැනි වර්ෂයේ දී ඒ අතරින් තමා වඩාත් කැමති විෂය තෝරාගනිමින් රැකියාභිමුඛ පුහුණුවක් ලබාගැනීමටත් අවස්ථාව සැලසෙයි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, වැවිලි භෝග කළමනාකරණ ආයතනය, ක්‍රීඩා අධ්‍යයන ආයතනය ඇතුළු රජයේ පුහුණු ආයතන රැසක් මේ වනවිට වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් වෙත ආයතනික පුහුණුව ලබාදීමට පියවර ගෙන සිටියි.




