වාස්ගේ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බරයට

Share

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(27) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූවේය.

එහිදී නඩුවට පාදක වී තිබෙන දුරකතන ඇමතුම් විස්තර පිළිබඳව සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණු ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.

2009 වසරේ අගෝස්තු මස 09 වනදා මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි නිපුන රාමනායක නමැති ශිෂ්‍යයා ජීප් රථයකින් පැහැරගෙන ගොස් සිරකර තබා ඇඳුම් ගලවා පහර දී හිරිහැරයට ලක් කිරීම සම්බන්ධයෙන්  දැනට මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් අතර වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ වූ ශ්‍යාමලී පෙරේරා සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ද ඇතුළත් ව සිටියි.

Read more

Local News