පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන පැමිණිලි 65කට අධික සංඛ්‍යාවක්

Share

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කොමිසම සඳහා මහජන පැමිණිලි 65කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.

එහි ලේකම් එච්.එම්.බී.පී හේරත් මහතා සඳහන් කළේ, ඒ අතර කොළඔ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ගොනු කළ පැමිණිල්ලක් ද වන බවය.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ සතිය තුළ ආරම්භ කෙරෙනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ලේකම්වරයා පැවසුවේ ලබන බදාදා කොමිසමේ සාමාජිකයින් රැස් වී එම තීරණය ගන්නා බවයි.

මේ අතර පැමිණිලි භාර ගැනීමේ අවසන් දිනය වූ ඊයේ ලියාපදිංචි තැපැලෙන් යොමු කළ පැමිණිලි ද භාරගන්නා බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.

කොමිසම පැමිණිලි භාර ගැනීම ආරම්භ වූයේ පසුගිය 4 වැනිදා ය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ අභියාචනාධිකරණ  විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු මහත්වරුන් හා විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.ආර්.අධිකාරි මහත්මියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය මස 22 වැනිදා මෙම පංච පුද්ගල කොමිසම පත් කරන ලදී

Read more

Local News