අද ගම්වල නැති දෙයක් ගැන අනුර කියයි

Share

මානව සංවර්ධනයට හිතකර සමාජයක් ගොඩනැගීම සඳහා තමන් කලාකරුවන්ගේ සහය අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පැවති කලාකරුවන්ගේ හමුවකට එක්වෙමින්.

ජාතික ජන බලවේගයේ සංස්කෘතික හා කලා ප්‍රඥප්තිය එළි දැක්වීම සහ ඒ පිළිබඳ කලාකරුවන් දැනුවත් කිරීමේ හමුවක්  ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  බත්තරමුල්ලේ දී ඊයේ පැවැත්විය.

ඊට සියලුම ක්ෂේත්‍රයන් නියෝජනය වන කලාකරුවන් රැසක් එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ, නීතිය ස්ථාපිත කරන්න සිටි ඇතැම් ඩී.අයි.ජී මහත්වරු අද වන විට මීනි මරලා හිරේ සිටින බවයි.

නීතිය හා විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතු සමහර පොලිස් නිලධාරින් ඝාතකයන් ආරක්ෂා කර ගැනීමට ගොස් හිරේ සිටින බවත් පැවසු ඒ මහතා, සෑම පුරවැසියෙක්ම තමාට පැවරුණු වගකීම හා අනෙකා සමඟ ඇති කර ගන්නා සබඳතාවය අයිස් වතුරේ ගිල්වා මරා දමන සමාජයක් ඇතැයි ද පැවසීය.

2017 වාර්තාවකට අනුව වයස අවුරුදු 16 ට වැඩි දැරියන් 1600 ක් කුමන හෝ ලිංගික අතවරයකට ලක්ව ඇතැයි පැවසු අනුර කුමාර මහතා, වාහන 30,000 කට වසරකට අනතුරු සිදුවන බවත් එයින් දිනකට පුද්ගලයින් 8 ක් මිය යන බවත් කියා සිටියේය.

රුපියල් 25,000 ට වඩා වැඩි මංකොල්ලා කෑම් 2017 වසරේ දී 4000 ක් වාර්තා වී ඇතැයි පැවසු අනුර කුමාර මහතා, අප ඉදිරියේ ඇත්තේ අධ්‍යාපනයක් නැති දර කෝටු වැනි මිනිස් සමුහයක් අපි අතර සිටින බවත් පැවසීය.

මෙම සමාජය යළි සුවපත් කළ යුතු බවත් පැවසු ඒ මහතා, අනුරාධ පුරයේ තිබු සිනමා ශාලාවක් අද ටියුෂන් පන්ති පවත්වන බවත්, එවැනිම තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සිනමා ශාලාවක් අද වන විට වී ගබඩාවක් වී ඇතැයි ද කියා සිටියේය.

චිත්‍රපට කලාව වෙනුවට අද වන විට ඉදිරියට පැමිණ ඇත්තේ කුමක් දැයි ප්‍රශ්න කර සිටි අනුර කුමාර මහතා, පවුලේ සියලු දෙනා එකතු වෙලා චිත්‍රපටයක් බලන සංස්කෘතියක් අද වන විට අපේ ගම්වල නැතැයි ද පැවසීය.

අපි කැමතිව හෝ අකමැතිව සියලු දෙනාටම අපි ජීවත් වන පරිසරය ඇතුළේ යම් අධ්‍යාත්මයක් ඇතුළු කළ යුතුව තිබෙන බවත් කියා සිටි මන්ත්‍රීවරයා, අපි ඉපදෙන විට හිස් කලයක් වැනි බවත්, මෙයට විවිධ වතුර එකතු කරමින් කලය පුරවන බවත් සඳහන් කළේය.

පොදු සමාජයක් තුළ අපි අපේ උවමනාවන් යටපත් කරමින් කටයුතු කරන බවත් පැවසු ඒ මහතා, සඟවා ඇති අධ්‍යාත්මය අද වන විය නැඟිට්ටවමින් සිටින බවත් පැවසීය.

ඉතාමත් අගතිගාමී,  වැඩවසම්, ගෝත්‍රවාදී, පැරණි, මිනිසාගේ මානව සංවර්ධනයට හිතකර නොවු මනෝභාවයක් සහිත පිරිසක් මෙම මතය නියෝජනය කරන බවත් පැවසු ඒ මහතා, ඒ නිසාම තම පෙරමුණ විසින් ඒ සඳහා පෙනී සිටිය යුතු යැයි තමා විශ්වාස කරන බවත් කියා සිටියේය.

Read more

Local News