පොලී අනුපාතිකයන් ගැන මහ බැංකුව ගත් තීරණය

Share

දැනට රටේ පවතින තත්ත්වය හමුවේ පොලී අනුපාතික ස්ථාවරව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

 

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටමේම පවත්වා ගෙන යෑමට පෙරේදා (18) රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව මේ වනවිට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.5ක් වන අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.5ක් බව පෙන්වා දෙන එම බැංකුව දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

2020 වසර තුළ සමස්ත වෙළෙඳ පොළ ණය අනුපාතිකවල අඩු වීම මුදල් මණ්ඩලයේ අවධානයට ලක්ව තිබෙන අතර විශේෂයෙන් දේශීය මුදල් වෙළෙඳපොළේ ඉහළ මට්ටමක පවතින අතිරික්ත ද්‍රවශීලතාව සැලකිල්ලට ගනිමින් ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන නොමැති වාතාවරණයක ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ණය අනුපාතිකයන්හි අඛණ්ඩ පහළ යෑමේ අවශ්‍යතාව ද පෙන්වා දෙයි.

2020 නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත්කළ පරිදි, පුළුල් ආර්ථික පුනර්ජීවනය සඳහා සහාය වීමට, බැංකු ප්‍රජාව සමඟ සාකච්ඡා කැර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (MSME) ප්‍රමුඛ අංශයක් වශයෙන් සලකා ණය ලබාදීමේ ඉලක්ක හඳුන්වා දීමට ද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Read more

Local News