අධිකරණ පියස ජනතා පියස බවට පත්විය යුතුයි : අගමැති

Share

අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිට පතන ජනතා පියස බවට පත්විය යුතුයැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින පැවසීය.

 

එක රටක් එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැගීමේ කාර්යට රජය මුල පුරා තිබෙන බව ප්‍රකාශ කළ අගමැති, නීතියේ ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම ක්‍රමවේදයකින් ආරවුල් විසදා ගැනීමට නම් අධිකරණය, නීතිඥවරුන් හා මහජනතාව යන අප සියලු දෙනා එක්ව යල් පැනගිය ක්‍රමවේද වලින් එළියට බැස ආකල්පයම වෙනසක් කළ යුතුයැයි පෙන්වා දුන්නේය.

සෞභාග්‍යයේ දැක්මෙන් අධිකරණාභිමානයට අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

යටත් විජිත යුගයේ ඉදිකෙරුණු අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලි වෙනුවට අලුතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය අක්කර 06ක භූමි ප්‍රමාණයක පැතිරයන  අතර වසර තුනකින් නිමවන මෙම ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 16500කි.

අධිකරණ පියස ට මුල්ගල තබා එහි සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උත්සව සභාව අමතා මෙසේ පැවසීය.

“යුක්තිය පසිදලන අධිකරණය රටක මූලික අවශ්‍යතාවක්. ඒ වෙනුවෙන් තබන ඓතිහාසික පියවරක් සදහා මම පැමිණියේ ඉතාම සංතෝෂයෙන්.එදා අපි බලයට පත්වනවිට ජනතා අභිලාෂයන් මුදුන්පත් කළහැකි යෝජනා මාලාවක් රට හමුවේ තැබුවා. ඒ සදහා අපට ජනතා ආශිර්වාදය ලැබුණා. රටේ පොදු මහ ජනතාවට අවශ්‍යය වුණේ අපි ඉදිරිපත් කළ එම ප්‍රතිසංස්කරණයන් ඉටුවනු දැකීම. අධිකරණය සම්බන්ධයෙනුත් පවතින්නෙ එවැනිම විශ්වාසයක්. දේශපාලනික වශයෙන් අපි කුමන මතවාද දැරුවත් පරමාධිපත්‍ය බලය රැදී තිබෙන්නෙ රටේ ජනතාව සතුව. ඒ නිසා අප රට හමුවේ තබන ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණයන් ඔවුන් තුළ විනිශ්චය වෙනවා කියන එක ඔබ දන්නවා. ඉතිහාසයේ අප බලයට පත්වූ සෑම විටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළා. පෞද්ගලික මැදිහත්වීම්වලින් නීතිය නවන්න අප කිසිදා උත්සාහ කළේ නැහැ.

ඒ නිසා ජනතා පරමාධිපත්‍ය, ජාතික ආරක්ෂාව, සියලු දෙනා ආවරණයවන ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය වගේ, රටේ ස්වෛරීත්වයත් ආරක්ෂාවන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබදව අප ජනතා අවධානය යොමු කළ බවඔබ තමුන්නාන්සේලා දන්නවා. එය කෙටුම්පත් කිරීමට අවශ්‍ය කටයුතු දැනටත් සම්පාදනය වෙමින් පවතිනවා”.

Read more

Local News